2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉදිරිපත් කළ පෙත්සම ජනවාරි මස 28 වනදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බව හිටපු නාවික හමුදාපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඇති අභියාචනාධිකරණය වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගයක් පැවැත්වීම වළක්වාලමින් මෑතකදී අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා.
ඒ අනුව, අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා විසින් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.