මේ රටේ ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ඒකරාශී කරගෙන අපි අලුත් ගමනක් යනවා. මේක බලාගෙන ඉන්න බැරි බොහෝ පිරිසක් අපේ පක්ෂයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්න පටන් අරන්. අපි ගාව ජාතිවාදය නෑ. ආගම්වාදය නෑ. ලෝකයම අපට උදව් කරනවා. ඒ අපේ හඬ දිනන නිසා තමයි මේ අය මඩ ගසන්නේ යැයි ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසනවා.
බදුල්ල දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතාගේ ජය තහවුරු කිරීම සඳහා බදුල්ල, හාලිඇළ ඇතුළු ස්ථාන කිහිපයක ඊයේ (03) පැවති ජනහමු අමතමින් ඔහු මේ බව කියා සිටියා.
මෙම රැලි සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර එහිදී තවදුරටත් අදහස් දක්වමින් පක්ෂ නායක රන්ජන් රාමනායක සඳහන් කළේ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ දූෂණයෙන් තොර අලුත්ම ප්‍රතිපත්තිවලින් සමන්විත අලුත් අදහස් ඇති පක්ෂයක් බවයි.
මහ මැතිවරණයේදී පක්ෂ ගණනාවක්ම තරග කළත්, ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයට මේ දිනවල එක දිගට ප්‍රහාර එල්ල කරන තත්ත්වයක් දැකගත හැකි බවත් රාමනායක සඳහන් කළා.
නමුත් තම පක්ෂයේ ප්‍රතිපත්ති නිවැරදි නිසා ජනතාව සහය වන බවත් , තමන් මීට පෙර තුන් වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ තරගකළ දිස්ත්‍රික්කවල වැඩිම මනාප ලබාගෙන බවයි රංජන් රාමනායක එහිදී සඳහන් කළේ.
ඒ ආකාරයටම මෙවර ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායකයා ලෙස මම තරග කරන තමන්ව ගම්පහ ජනතාව පාර්ලිමේන්තුවට යවන්නේ ඔවුන්ගේ ‘හඬ’ බවට තමාව පත් කර බවත් ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.