කලා ඔය නිම්නයේ පහත්බිමි ප්‍රදේශවල ජීවත් වන ජනතාවට වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව, නොච්චියාගම, රාජාංගණය, වනාතවිල්ලුව සහ කරුවලගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහයක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි දස දහසක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරෙනවා.
අංගමුව ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර එමගින් තත්පරයට ඝණ අඩි 3650 ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පවුල් 59, 629ක පුද්ගලයින් දෙලක්ෂ හත්දහස් පන්සිය අසූ දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ, අම්පාර දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 34, 885 ක පුද්ගලයින් එක් ලක්ෂ විසිතුන්දහස් අටසිය හැත්ත හයක් පීඩාවට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් කියා සිටියේ.
මේ අතර, අක්කරෙයිපත්තු – කල්මුණේ මාර්ගයේ ඔලුවිල් – කලිඕඩෙයි ප්‍රදේශයේ පාලමක් ගිලා බැසීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ප්‍රදේශයේ වාර්තාකරු සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස පාලම ගිලා බැසීමට ලක්ව ඇති බවයි.
එමෙන්ම, මඩකලපුව – කල්ලඩි පාලම අඩි තුනක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් මඩකලපුව නගරයට පිවිසීමට බාධා එල්ල වී තිබෙනවා. එසේම මඩකලපුව නගරයද මේ වන විට ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.