Global Platform For All Sri Lankans

Lanka Hit News

දින 3ක් කුණාටුවෙන් බලපෑම්

 

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද (27) දිනයේ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පවසනවා.

මෙම ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් ද නිකුත් කර තිබෙන අතර , පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් 73හි මුළු ජල ධාරිතාව 65%ක් දක්වා ඊයේ (26) දහවල් වන විට වර්ධනය වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ළහිරුණි ජයතිලක සඳහන් කළා.

පීඩන අවපාතය ඊයේ (26) පෙරවරු 11.00 පමණ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර 170ක් සහ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 240ක් පමණ දුරින් ගිනිකොණ දිගින් පිහිටා තිබුණා. මෙමඟින් දිවයිනට වූ බලපෑම මෙම 29 දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් සඳහන් කළා.

එමෙන්ම ප්‍රධාන ජලාශ 27ක් පමණ මේ වන විට පිට වාන් දමන බවත් ප්‍රකාශ කළ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) ඉංජිනේරු එස්.පී.සී සුගීස්වර , ඒ නිසා එම ජලාශවල පහළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු බව ද සඳහන් කළා. ගංගා ද්‍රෝණි ගණනාවකට අයත් පහත්බිම් ප්‍රදේශ ගංවතුර තර්ජනයකට ලක්වී තිබෙන බවත් එය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ඔහු සඳහන් කළා.

මෙම පීඩන අවපාතය දිවයිනේ නැඟෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරණු ඇතැයි බලාපොරොත්තු වන බවද , ඉන්පසුව මෙය මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයට ගමන් කරණු ඇතැයි බලාපොරොත්තු වන බව ද ශ්‍රීමාල් හේරත් වැඩිදුරටත් සඳහන් කළා.

මේ නිසා දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැඟෙනහිර, මධ්‍යම, ඌව, දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි. තද සුළං ද ඇතිවේ. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. නැවත දැනුම් දෙනතුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads