පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් පසුගිය දා කථානායන ආචාර්ය අසෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරනවා.
එහිදී, දෙසැම්බර් මස තුන්වැනිදා ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
එදින පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති.
දෙසැම්බර් 04 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා තවදුරටත් විවාදය පැවැත්වීමට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.00ට පැවැත්වීමටත් පක්ෂ නායකයන්ගේ එකඟත්වය පළවී තිබෙනවා.
2025 වසරේ පළමු මාස හතර සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 වැනිදා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනු ඇති.
ඒ අනුව, ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 දෙදින පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමටයි පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ.
මීට අමතරව ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශවය සදහා විවාද කාලය වෙන් කිරීම, කාරක සභාවල ආණ්ඩු පාර්ශවයේ සහ විරුද්ධ පාර්ශ්වයේ සංයුතිය තීරණය කිරීම, තේරීම් කාරක සභාව ස්ථාපිත කිරීම සහ ඊට අදාළ නාම යෝජනා ලබා ගැනීම, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හා අනෙකුත් කාරක සභා පිහිටුවීම, ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය සහ දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ස්ථාපිත කිරීමට ලැබී ඇති ඉල්ලීම සලකා බැලීම යන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.