Global Platform For All Sri Lankans

අයහපත් කාලගුණය තවදුරටත් තීව්‍රවෙන ලකුණු

 

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපීඩන තත්වය ත්‍රීකුණාමලයේ සිට ඊසාන දෙසින් 100km 100 දුරින් තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී 75mm – 100mm අතර වර්ෂාවක් ඇති විය හැකි අතර සුලගේ වේගය විටින් විට 50kmph -60kmph දක්වා වැඩි වීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම සුළිකුණාටු තත්ත්වය ඉදිරියේදී තීව්‍ර විය හැකි බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

එමෙන්ම පවතින අයහපත් කාලගුණය හමුවේ යාපනය – නුවර ඒ – 09 මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව තිබෙනවා.

වව්නියාව සහ මුලතිව් ප්‍රදේශවලින් මෙලෙස මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව ඇති බවයි.

මේ අතර, උතුරු පළාතේ සෑම ප්‍රදේශයකටම අද උදෑසන සිට යළිත් වැසි ඇද හැලෙන බවද ඔහු සදහන් කළා.

මේ අතර, පවතින අධික වැසි තත්ත්වයත් සමග අවහිර විී තිබූ අනුරාධපුර – පාදෙනිය මාර්ගය යළි ගමනාගමන කටයුතු සදහා විවෘත කර තිබෙනවා.

පැවති අධික වැසි සමග එම මාර්ගය වාරියපොළ – මිනුවන්ගැටේ දැදුරු ඔය පාලම අසලින් අවහිර වී තිබුණා.

එමෙන්ම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 1, 962 කට අයත් පුද්ගලයින් 6, 198 දෙනෙකු අවතැන් වී තිබෙනවා.

කෙසේවෙතත්, මෙම පීඩන අවපාතය හෙට වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියා.

එමෙන්ම මෙම තත්ත්වය හමුවේ නැවත දැනුම්දෙනතුරු තවදුරටත් මුහුදු නොයන්නැයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ ඉංජිනේරු සකුරා දිල්තාරා පවසා සිටියේ, දැදුරු ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වාරියපොළ, නිකවැරටිය, බිංගිරිය, ආරච්චිකට්ටුව, කොබෙයිගනේ සහ හලාවත යන ප්‍රදේශවල පහත් බිම් වල ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසයි.

ඊට අමතරව මහවැලි සහ කැළණි ගංගා තවදුරටත් අවදානම් බවද ඇය කියා සිටියා.

මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන වැව් 73 න් 37ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, එම වැව්වල ජල ධාරිතාව සියයට 77 ඉක්මවන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, වැසිත් සමග ප්‍රදේශ රැසක මහාමාර්ග සහ අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව තිබෙනවා.

එමෙන්ම අක්කරෙයිපත්තු – කල්මුණේ මාර්ගයේ ඔලූවිල් – කලි ඕඩෙයි ප්‍රදේශයේ පාලමක් ගිලා බැසීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස පාලම ගිලා බැසීමට ලක්ව ඇත්තේ ද , මල්වාන, බියගම යන ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී ඇත්තේ කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්.

මහවැලි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළඹ – මඩකලපුව මාර්ගය ගල්ලෑල්ල ප‍‍්‍රදේශයෙන් තවම වසා දමා තිබෙනවා.

එසේම සෝමාවතිය පුද බිම ද ජලයෙන් යටව පවතිනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන කියා සිටියේ නායයාමේ අවදානමට ලක්විය හැකි අධි අවදානම් සහිත ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙසයි.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 21කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 175ක පවුල් 98,635ක පුද්ගලයින් තුන් ලක්ෂ තිස්දහස් අටසිය අනූ හතර දෙදෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ , පුද්ගල මරණ 6ක් සහ අතුරුදන්වීම් 6ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අම්පාර මාවඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන්ව සිටි තවත් සිසුන් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ(27) පස්වරුවේ සොයාගනු ලැබුවා.

එමෙන්ම, ඊයේ උදෑසන ද අතුරුදන්ව සිටි තවත් සිසුන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා.

ඒ අනුව, සිද්ධියෙන් තවත් සිසුන් දෙදෙනෙකු සහ රියදුරු මෙන්ම සහයකයින් දෙදෙනා තවදුරටත් අතුරුදන් වී ඇති අතර, ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. සිසුන් ගමන් කළ ට්‍රැක්ටර් රථයද නාවික හමුදාව ඊයේ සොයාගනු ලැබුවා.

එමෙන්ම, මඩකලපුව චෙන්කලඩි, මාවඩිඔඩයි ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක් බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ කටයුතු කළා.

මේ වන විට ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් එකසිය තිස්පහක් සූදානම් කර තිබෙනවා.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් වගා කළ අක්කර 4800කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර, තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා.

ඒ සඳහ බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads