Global Platform For All Sri Lankans

Lanka Hit News

පැවති අයහපත් කාලගුණය, පහව යන ලකුණු

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බැවින්, අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මඟින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 290 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම අද දිනයේදී දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වැඩිදුරටත් සඳහන්.

මේ අතර උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads