අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය විජිත හේරත් අද (29)කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා.
පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් එහි හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව ඉකුත් යහ පාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙම නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ අමාත්‍ය විජිත හේරත්ට අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නියම කළ අතර, ඒ අනුව ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද සාක්ෂි විභාගය පෙබරවාරි මස 05 වනදා දක්වා කල් තබන ලද අතර, එදිනට ද අමාත්‍ය විජිත හේරත් ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා.