Global Platform For All Sri Lankans

Lanka Hit News

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක  ඉදිරියේ අද (02) දිවුරුම් දුන්නා.

ඒ, අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී යි.

ඒ අනුව, මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු ඉතිහාසයට එක්වනු ඇති.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා.

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලබා තිබෙනවා.

මුර්දු ප්‍රනාන්දු රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30කට වැඩි කාලයක් එහි සේවය කර තිබෙන අතර 2018 මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ඇති බව සඳහන්.

ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියද වනවා.

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මුර්දු ප්‍රනාන්දු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads