ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ALCO ඩීසල් එන්ජින් 22ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 මාදිලියේ වැඩි දියුණු කළ එන්ජින් 20ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 2ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළකර තිබෙන බව සඳහන්.
එම දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ කටයුතු වසර 5ක කාලයකට ලබා දීම සඳහා නොකැඳ වූ යෝජනාවක් ඉන්දියාවේ ඉංජිනේරු උපදේශක සහ යටිතල පහසුකම් සංවර්ධන සමාගමක් වන RITES සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනාව ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට 2024-06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි අනුමැතිය ලබා දී තිබුණේ.
මෙසේ ප්‍රදානයක් වශයෙන් ලබා දෙන දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතිනවා.
එම දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය මඟින් අදාල කාර්ය ඉටු කරවා ගැනීම යෝග්‍ය බවයි ව්‍යාපෘති කමිටුව පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව අදාළ ප්‍රදාන ගිවිසුමට අත්සන් තබා දුම්රිය එන්ජින් 22ක් ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.