ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරන තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් දැඩිකර ඇති බව ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් පවසනවා.
මෙම ගැටළු සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායගේ ඉන්දීය සංචාරය අතරතුරදීයි.
ඒ අනුව, ප්‍රධාන වශයෙන් ඉන්දු ලංකා ධීවර ගැටළුව සහ මෙම මුහුදු සීමා ගැටළුව පිළිබඳ එම සංචාරයේදී එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් ප්‍රකාශ කළේ.
මෙම ගැටලු විසඳීම සඳහා දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය අවබෝධය ඉතා වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
තමිල්නාඩුවේ ඇතැම් ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීම හේතුවෙන්, මෙරට උතුරේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද ඔහු කියා සිටියා.
ඒ අනුව, මෙම තත්ත්වයට දෙපාර්ශවයටම එකඟ විය හැකි විසඳුමකට එළැඹීම වත්මන් රජයේ අරමුණ බවයි අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් අවධාරණය කළේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන සතියේ දී ඉන්දියාවේ සංචාරයකට එක්වීමට නියමිතයි.