ඊයේ (16) රාත්‍රියේ සිදු වූ මීටියාගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අදාල සැකකරුවන් සමග ගිනි අවියක්ද සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මීටියාගොඩ – බලිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට ඊයේ (15) රාත්‍රියේ වෙඩි තබා තිබුණා.
ඒ හේතුවෙන් ඔවුන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 49ක් සහ වයස අවුරුදු 29ක් වන බලිමුල්ල, මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචි පියා සහ දියණියයි.
තුවාලකරු හා තුවාලකාරිය නිවසේ සිටියදී, පුද්ගලයින් පිරිසක් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
බරපතල තුවාල පියා සහ දියණිය බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයාගේ පුත්‍රයා වන නුවන් ගුණතිලක නැමැත්තා සොයා වෙඩික්කරුවන් පැමිණ තිබෙන බවයි පොලිස් මූලික විමර්ශණවලින් හෙළිවී ඇත්තේ.
නමුත් වෙඩික්කරුවන් පැමිණෙන අවස්ථාවේ එම පුත්‍රයා නිවස තුළ සිට නැහැ.
මත්ද්‍රව්‍ය අරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
වෙඩි තැබූ ස්ථානය අසළ තිබී මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ කොපු 4ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පියාටද මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.