පාර්ලිමේන්තුව අද (17) සහ හෙට (18) දිනවල රැස්වීමට නියමිතයි.
එහිදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම්දීමේන් පසු නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම ඇතුළු වැඩකටයුතු රැසක් සිදුකිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුව පවසන්නේ.
ඒ අනුව, පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය හෙට සහ අනිද්දා දිනවලත්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන විවාදය අද පස්වරු 3.00 සිට පස්වරු 6.30 දක්වාත් පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව අද (17) පෙ.ව 9.30ට රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිත බවත් අනතුරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවන බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.
ඊයේ (16) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී තිබෙනවා.
දෙසැම්බර් 17 සහ 18ට දෙදිනට අදාළව පෙර තීරණය කළ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් ද මෙහිදී සිදුව ඇති බවයි පාර්ලිමේන්තුව පවසන්නේ.
අද (17) වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 9.45 දක්වා නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව/ දිවුරුම ලබා දීම සඳහා කාලය වෙන්කර ඇති අතර සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු මෙසේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව නව කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව යොමු වීමට නියමිත අතර ඉන්පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මන්ත්‍රීවරයන්ට අවස්ථාව සැලසෙනවා.
අනතුරුව පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පෙ.ව. 11.00 සිට පස්වරු 3.00 දක්වා විවාදයට ගෙන, එම විවාදය හෙට (18) දිනට ද පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
මේ අනුව, පෙර තීරණය කළ පරිදි 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව මෙදින විවාදයට ගැනීම සිදු නොවන බවද සඳහන්.
ඉන්පසු ප.ව. 3.00 සිට ප.ව. 6.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති අතර නව කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට කාලය වෙන් කිරීම හේතුවෙන් විවාද කාලය මෙසේ පැයකින් දීර්ඝ කිරීමටයි තීරණය වී ඇත්තේ.
හෙට (18) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙරවරු 9.30 – පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
අනතුරුව පෙර දින කල්තබන ලද, පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.
මේ අනුව පෙර තීරණය කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රවල සඳහන් නියෝග හා රෙගුලාසිවලට අදාළ විෂයයන් ඉදිරි දිනකදී විවාදයට ගැනීමට එකඟත්වය පළවී තිබෙනවා.
ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.