වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළව පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සඳහා අදාළ කොන්දේසි කිහිපයක් ද ඇතුළත් බව එම නිවේදනයේ සඳහන්.
මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විදේශ සංචිතවල ඇතිවූ වැඩිදියුණු වීමත් සමඟින් ආර්ථිකය ක්‍රමිකව යාථා තත්ත්වයට පත්වීම සහ ආර්ථික කටයුතු සාමාන්‍යකරණය වීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ ද එකඟතාව සහිතව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක හෙවත් HS CODES 304ක් යටතේ වර්ගීකරණය වන මෝටර් වාහන ආනයනය කිරීමට අදාළව පනවා තිබූ තහනම අදියර 3ක් යටතේ ඉවත් කිරීමටයි 2024 සැප්තැම්බර් මස 13 වැනිදා අමාත්‍ය මණඩල අනුමැතිය ලැබී ඇත්තේ.
එම අදියර 3 යටතේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දුන් බව එම නිවේදනයේ සඳහන්.
වර්ගීකරණ සංකේතාංක 52 ක් යටතේ වර්ගීකරණය වන පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් රථ ඒන්ජින් භාවිත නොවන රෝද සහිත අයිතම ආනයනය කිරීමට අවසර ලබාදීම පිණිස 2415/35 අංක දරන 2024 දෙසැම්බර් 18 දිනැති ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.
මේ සඳහා අදාළ කොන්දේසි වන්නේ,
01. ආනයනය කරනු ලබන මෝටර් වාහන, ආයතන බිල් පත්‍රයේ හෝ රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි.
02. මාසිකව CIF වටිනාකමින් 3% සිට අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ වාහනය ලියාපදිංචි කළ යුතුයි.
03.ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන්ගේ නමට ලියාපදිංචි කළ නොහැකි අතර එසේ ආනයනය කරන ලද වාහන ගැනුම්කරුවන්ගේ නමට ලියාපදිංචි කළ යුතුයි.
04. මෙම ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව උල්ලංඝණය කරමින් ආනයනය කළහොත් ආනයනකරුට වාහන ආනයනය කිරීම අවම වශයෙන් මාස 36ක කාලයකට තහනම් කරනු ලැබෙනවා.
05. රෙගුලාසිවලට පටහැනිව මොටර් රථයක් ආනයනය කළහොත් දින 90ක් ඇතුළත ප්‍රතිඅපනය කළ යුතුයි.
06. මින් පෙර භාවිත නොකළ නව අයිතම ආනයනය කළ යුතුයි.