පසුගිය (08) දිනයේ අතුරුගිරිය, මංසන්ධිය අසල ව්‍යාපාරික ආයතනයක් තුළ සිදු වූ වෙඩිතැබීමකින් සුරේන්ද්‍ර වසන්ත නොහොත් ‘ක්ලබ් වසන්ත’ සහ තවත් පුද්ගලයෙක් මිය ගියා.මිය ගිය අනෙක් පුද්ගලයා ජනප්‍රිය ගායිකා කේ. සුජිවාගේ සැමියා බවයි සඳහන් වන්නේ.
එම වෙඩි ප්‍රහාරවලට ලක් වූ ජනප්‍රිය ගායන ශිල්පිනියක වූ කේ සුජීවා ද බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අතර, තවත් තිදෙනෙකු ද එම වෙඩි ප්‍රහාරවල ගොදුරු බවට පත් වුණා.
එම සිද්ධියෙන් අනතුරුව සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ පිළිබඳව සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා තොරතුරු පිරික්සීම් වැඩි වශයෙන් සිදු වන බව පෙනෙන්නට තිබෙනවා.
ඒ අනුව, කෝටිපති ව්‍යාපාරිකයෙකු යැයි කියන ක්ලබ් වසන්තගේ විකාශනය පිළිබඳව මෙසේ සඳහන් කළ හැකියි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ සිය ව්‍යාපාර දිවිය ආරම්භ කර ඇත්තේ නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි ‘සන්හිල්’ නැමති හෝටලයකින් වන අතර, ඔහු කොළඹ ඇතුළු නගර කිහිපයකම හෝටල් සහ කැරකෝ සමාජ ශාලා හිමිකරුවෙකු ලෙස 1990 දශකයේ සිට ප්‍රසිද්ධියක් උසුලනවා.
සන්හිල් ව්‍යාපාරයේ සභාපතිවරයා වන වසන්ත පෙරේරා මෙරට ජනතාව අතර වඩාත් කතා බහට ලක්වූ චරිතයක් බවට පත් වුණේ 2019 වසරේ දී ඩුබායි හිදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වූ සිදුවීමෙන් පසුවයි.
ඒ මධූෂ්ගේ මිතුරෙකු ලෙසින් සැලකුණු වසන්ත, ඩුබායිහි දී පැවති, මාකඳුරේ මදූෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට පත් වූ සාදයට සහභාගි නොවීම පිළිබඳ සැකයක් ඉතුරු කරමින්.
එම සැකය පිළිබඳව එවක දී ඔහුගෙන් ඇතැමෙක් ප්‍රශ්න කළ අතර, වසන්ත ඊට පිළිතුරු වශයෙන් සඳහන් කළේ, තමා එම සාදයට සහභාගි නොවූයේ තමාගේ බිරිඳගේ නැගණියගේ විවාහය හේතුවෙන් බවයි.
එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “ඇත්තටම ඩුබායි ගමන මාව බේරපු එක. දෙයියො හොඳට ම ඉන්නවා කියලා ඔප්පු වුණා.” යනුවෙන්.
මේ අතර, ඔහු මීට දෙවසරකට පමණ පෙර නැවතත් කරලියට පැමිණියේ, ඔහු පැළඳි ‘රත්තරන් පාට සපත්තුවක්’ ගැන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළකරන ලද පොස්ටුවකින් අනතුරුවයි.
එම පෝස්ටුවට උණුසුම් ප්‍රතිචාර හිමිවූ අතර, සිය ‘රන් සපත්තුව’ ගැන වසන්ත කමෙන්ටුවක් ද පළ කර තිබුණා.
එහි දී ඔහු සඳහන් කර තිබුණේ, “ඇත්තටම එහෙම ලොකුකමකට දැම්මා නෙවෙයි, දකින්න නොලැබෙන දෙයක් නිසා දැම්මේ. ලොකු කමකට දානවා නම් හිතන්න බැරි දේවල් මට දාන්න පුළුවන්.” යනුවෙන්.
මේ අතර, විවිධ සමාජ සත්ක්‍රියා කරන අයෙකු ලෙස ද ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් උසුලන අතර ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 06කට ආසන්න අනුගාමිකයන් පිරිසක් ද සිටීම විශේෂත්වයක්.