Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000052477.jpg

News

March 17, 2025 , Published 11:47 am ,
0
0
8 views

පොලිස්පති දේශබන්දුගේ රිට් පෙත්සම විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කෙරේ

  • newsLankahit news
  • 8 views
  • 0 comments

 

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කළා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වනදා අභියාචනාදීකරණය හමුවේ සලකා බැලුනා.

එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන බවයි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බවයි. 

රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මඟ හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළා. 

මෙවැනි ක්‍රියා තුළින් නීතියේ ආධිපත්‍යයට මෙන්ම නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳ වැටීමටද හේතුවන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා. 

පහළ අධිකරණවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බවත් සඳහන් කළා. 

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ යම් ගැටලු සහගත තත්ත්වයක් තිබුණේ නම් ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී පසුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම බව සඳහන් කළ විනිසුරුවරයා එහෙත් පෙත්සම්කරු එම නීතිමය මූලධර්මය අනුගමනය කර නොමැති බවත් කියා සිටියා.

සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනී නොයන හෙයින් ඔහුගේ පෙත්සම සහ අතුරු සහන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.

සියලු කරුණු සලකා බැලීමේදී මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යානුකූල බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර අද පෙරවරුවේ දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරු විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණා. 

එම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම සිද්ධියට අදාළ මාතර මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේ සම්පූර්ණ පිටපත ලැබුණේ ඉකුත් සිකුරාදා බවත් එය අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ බවත් සඳහන් කළා. 

ඒ අනුව මෝසම සම්බන්ධයෙන් කරුණු සලකා බලන තෙක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා. 

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් දැඩි විරෝධය පළ කළා. 

මෙවැනි ඉල්ලීම් වලට ඉඩ නොදෙන ලෙසත් අදාළ මෝසෙම ප්‍රතික්ෂේප කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා. 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මිනිසුරු මඩුල්ල අදාළ මෝසම ඉවත දමමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා. 

එමෙන්ම පෙත්සම්කරුට අධිකරණය මගහැර සඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් විනිසුරු මඩුල්ල  විසින් මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.