Global Platform For All Sri Lankans

Lanka Hit News

අවසන් රැලියට , කුණු ලොරියෙන් ආ ට්‍රම්ප් ?

 

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කිරීමක් සිදු කළා යැයි , විදෙස් මාධ්‍ය පවසනවා.

ට්‍රම්ප්, සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවකින් ද සැරසී කුණු ලොරිය පැදවූයේ, විස්කොන්සින් ජනපදයේ, ග්‍රීන් බේ නුවර, ඔස්ටි්‍රන් ස්ට්‍රවුබල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සිය ගුවන් යානයෙන් පැමිණීමෙන් පසුවයි.

ට්‍රම්ප්, මෙලෙස විස්කොන්සින් ජනපදයට පැමිණියේ ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් ජන රැලියක් ඇමතීම සඳහා බවයි වාර්තා වන්නේ.

ගුවන් යානයෙන් පිටතට පැමිණි ට්‍රම්ප් කුණු ලොරියට ගොඩවූයේ ට්‍රම්ප් දැක ගැනීමට ගුවන්තොටුපොළට රැස්ව සිටි මාධ්‍යවේදීන් බලා සිටිද්දී වීමද කතාබහට ලක්ව තිබෙන කරුණක්.

කුණු ලොරියේ, ට්‍රම්ප්ට ඡන්දය දෙන්නැයි පෙන්වන ප්‍රචාරක ස්ටිකර් ද අලවා හැඩ ගන්වා තිබීම ද විශේෂත්වයක්.

කුණු ලොරිය රවුම් කිපයක් ධාවනය කර, මාධ්‍යවේදීන් අසලට පැමිණ , ට්‍රම්ප් රියදුරු අසුනේ සිට මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට සහ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ට්‍රම්ප් අපහාස කළේ එම අවස්ථාවේදී බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට ට්‍රම්ප් මෙන්ම කමලා හැරිස් ද ඔවුන්ගේ අවසන් මැතිවරණ රැලිවල නියැලෙමින් සිටින බව ද සඳහන් වනවා.

එවැනි එක් රැලියකදී කමලාට සහාය දක්වමින් ඊට එක් වුණු වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වැඩකට නැති ‘කසල’ යැයි හඳුන්වා දී තිබෙනවා. ට්‍රම්ප්ගේ කෝපයට මෙය හේතුවක් විය හැකි බවටද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

‘ඔව්, අපි කසල තමයි, මම මේ කුණු ලොරිය පදවන්නේ ඒ නිසයි’ යැයි ට්‍රම්ප් කුණු ලොරියේ රියදුරු අසුනේ සිට මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර තිබෙනවා.

ඉන්පසු ට්‍රම්ප්, විස්කොන්සින් ජන රැලියකට සහභාගී වූ අතර, එහිදී ද ඔහු සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවෙන් සැරැසී සිටි බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads