මල්වතු ඔය ද්‍රෝණිය සදහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවිමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දිර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය අද(29) දිනයෙන් පසු ක්‍රමිකව අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත‍්‍රිකුණාමලයට කිලෝමීටර 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝමීටර් 280ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූණා.
එය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරල දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මෙහි බලපෑමෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
එසේම,උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වලට විටින් විට හමන පැයට කිලෝමීටර් 60 ක පමණ තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
මේ අතර, මහවැලි ගග, මුන්දෙණි ආරු ද්‍රෝනිය, දැදුරු ඔය සහ හැඩ ඔය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම ඊයේ පස්වරුවේ ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කෙරුණා.
කෙසේ වෙතත්, බොහෝ ගංගා සහ ඔයවල් හි ජලය මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතින නමුත් ඇතැම් ජලාශවල වාන් දොරටු තවමත් විවෘත කර තිබෙනවා. එසේම ගංවතුරට හසු වූ ප්‍රදේශ රැසක පහත්බිම්වල ජලය තවදුරටත් රැදී පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද දිනයේ සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.
එසේම උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් නානුඔය දක්වා සීමා කර තිබෙනවා.
එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර, නුවරඑළිය, මාතලේ දිස්ත‍්‍රික්කවලට නිකුත් කළ නායයාම් පිළිබද රතු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දීර්ඝ කළ අතර කෑගල්ල දිස්ත්‍රික්කයටද රතු නිවේදන නිකුත් කෙරුණා.