Global Platform For All Sri Lankans

ආරක්‍ෂක නවෝත්පාදන හා ජාතික ආරක්‍ෂාවට ඇති දායකත්වය ගැන දේශනයක්..

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් “Military Innovations and Its Contributions to National Security” යන කාලීන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ දේශනයක් පවත්වා තිබෙනවා.

ඒ, ඊයේ (25) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ “නන්දිමිත්‍ර” ශ්‍රවණාගාරයේදී යි.

මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී මහාචාර්ය අජිත් ද අල්විස් මහතා එම උත්සවයේ ආරාධිත කථිකයා ලෙස සහභාගී වුණා.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා (විශ්‍රාමික) නියෝජනය කරමින් ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතා (විශ්‍රාමික) මෙම අවස්ථාවට සහභාගි වුණා.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත් මහතා විසින් එහි ආරම්භය සනිටුහන් කරමින් ආරාධිත කථිකයා සහ මෙම දේශනයේ අරමුණු පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකළා.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයන ආයතනය වන, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් ආරක්‍ෂක නවෝත්පාදනයේ වැදගත්කම සහ එහි දායකත්වය අවබෝධ කරගනිමින්, විශේෂයෙන්ම ආරක්‍ෂාව හා සම්බන්ධ වන හා නොවන නවෝත්පාදන පිලිබඳ මෙන්ම ඒ ඔස්සේ ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගීම සඳහා ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දේශනය සංවිධානය කර තිබෙනවා.

නවෝත්පාදන පදනම් කරගත් ඉගෙනුම් සංකල්පය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, ඒ සඳහා රටක් වශයෙන් ගත යුතු පියවර, විසඳුම් සහ පිළියම්වල අවශ්‍යතාවය ඉස්මතු කිරීම මෙන්ම නවෝත්පාදනයේ පූර්ණ විභවය පිළිබඳ යම් අවබෝධයක් ලබාදිම මෙම දේශනයේ අරමුණයි.

එහිදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ද අල්විස් මහතා විසින් සාකච්ඡාවේ කේන්ද්‍රීය තේමාවන් පිළිබඳව සවිස්තරාත්මක හා අවබෝධාත්මක දේශනයක් සිදුකරමින් අප ඉදිරියේ ආර්ථික යුද්ධය නම් වූ තවත් යුද්ධයක් ඇතිබව ප්‍රකාශ කරන ලද අතර නවෝත්පාදනයේ අවශ්‍යතාවය පිලිබඳ මෙහිදී අවධාරණය කළා.

අධ්‍යාපනය, කර්මාන්ත සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය අතර සහයෝගීතාවය පෝෂණය කරමින් නවෝත්පාදන හැසිරවිය යුත්තේ කෙසේදැයි සාකච්ඡා කළ ඔහු, වඩා ශක්තිමත් නවෝත්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එහිදී අවධානය යොමු කර තිබෙනවා.

කිසියම් ජාතියක සංවර්ධන ක්‍රියාවලිය හැඩගැස්වීමේදී දැනුමෙන් ලබාගන්නා පරිපුර්ණභාවය, සමකාලීන චින්තනය, නවෝත්පාදන, විද්‍යාව සහ තාක්‍ෂණය යන අංගයන්හි තීරණාත්මක කාර්යභාරය පිලිබඳවද මහාචාර්ය අල්විස් මහතා සිය දේශනයේදී අවධාරණය කළා.

එකී සාධක සම්බන්ධයෙන් විස්තර කිරීමේදී ඊශ්‍රායලය, ජපානය සහ දකුණු කොරියාව වැනි ලෝකයේ ප්‍රමුඛ ආර්ථික සංවර්ධනයක් සහිත රටවල් කිහිපයක් උදාහරණ ලෙස ගෙන මෙම ක්ෂේත්‍රවල දියුණුව ඔවුන්ගේ වේගවත් සංවර්ධනයට සහ ගෝලීය තරඟකාරිත්වයට සැලකිය යුතු ලෙස දායක වී ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කරනු ලැබුවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads