උණුසුම් පුවත්

රමිත් රඹුක්වැල්ලගේ නඩුවට දින දෙයි

නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 11 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13) නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේයි කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට භාර දෙනු ලැබුවා.

ඉන් අනතුරුව විනිසුරුවරයා නියම කළේ එම ලේඛනවල පිටපත් විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඉදිරි දින අවසන් කළ යුතු බවයි පාර්ශ්වයන්ට දැනුම් දුන්නේ.

ඒ අනුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව පෙබරවාරි 11 වනදා යළි කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කළා.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා අතර කාලසීමාව තුළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙනුයි අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබෙන්නේ.

Shares: