දේශීය

බොරලැස්ගමුවේ වෙඩි තැබීමේ වෙඩික්කරු මාට්ටු

බොරලැස්ගමුව පොලිස් වසමේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගිය පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබුණේ පසුගිය 24 වනදා අළුයම් කාලයේයි.

ඒ අනුව, අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.

සිදු කළ විමර්ශනයේ දී අනාවරණය කරගත් තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියාකල සැකකරුව ඊයේ (25) දහවල් මහරගම පොලිස් වසමේ නාවින්න ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 550 ක් සමඟයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 24 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: