දේශීය

වී ගොවීන්ගේ ගැටලු විසඳීමට ස්ථීර වැඩපිළිවෙළක් හදන්න සාකච්ඡාවක්

වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව එම ගොවීන් සමඟ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද, අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වී ගොවීන් මෙන්ම සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බවයි සඳහන් කළේ.

ඔහු පැවසුවේ ගොවියා, රාජ්‍ය නිලධාරියා සහ දේශපාලනඥයා තවදුරටත් බෙදී කටයුතු නොකළ යුතු බවත්, මින් ඉදිරියට සියලු පාර්ශ්ව එක්ව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බවයි.

සහල් ආනයනය සීමා කිරීම අරමුණු කරගෙන වී නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සහ වී මිලදී ගැනීමේ මිල ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර නිෂ්පාදන පිරිවැය අවම කරමින් සහ ගොවියා ආරක්ෂා කර ගනිමින් පාරිභෝගික ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහල් සහන මිලට ලබා දීම කෙරෙහියි මෙහිදී අවධානය යොමු වූයේ.

එමෙන්ම පොහොර සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ලෝක වෙළෙඳපොළෙහි තත්ත්වයද සැලකිල්ලට ගෙන පොහොර සහනාධාර මිල තීරණය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණු අතර එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණේ ගබඩාකරණය, වී වේලා ගැනීම ඇතුළු නිෂ්පාදන කාර්යයන් සම්බන්ධයෙන් ගොවින්ගේ පහසුකම් වැඩිදියුණු කිරිමට ගත හැකි පියවර පිළිබඳවයි.

ඉදිරියේදී නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම වැනි තීන්දු තීරණ ගැනීමේදී දිස්ත්‍රික් මට්ටමින් යෙදවුම්වල නිෂ්පාදන පිරිවැය සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙසත්, එම සාධකයද සලකා බලා වීවලට ලබා දෙන සහතික මිල තීන්දු කිරීමේ අවශ්‍යතාවත් පිළිබඳවයි මෙහිදී ලාල්කාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එසේම වී ගොවීන්ට අවශ්‍ය බීජ සහ පොහොර සහනාධාර ඇතුළු පහසුකම් ලබා දී තිබෙන්නේ රාජ්‍ය සේවයට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කර නොමැති කාලයක බවත්, රාජ්‍ය ආයතනවලට, නිලධාරීන්, අවශ්‍ය වාහන සහ යන්ත්‍රෝපකරණ ලබා ගැනීම මෙන්ම අදාළ ක්ෂේත්‍රවල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට අවශ්‍ය පියවර ගත යුත් බවත් මෙහිදී සාකච්ඡාවට ලක් වූවා.

තමන් මුහුණ දී තිබෙන ගැටලු විසඳීමට පළමු වතාවට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව මැදිහත් වීම පිළිබඳ මෙහිදී රජයට ස්තූතිය පළ කළ ගොවීන් සඳහන් කළේ ඔවුන් මුහුණ දී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්. ඒ. ආර්. තුෂාර වික්‍රමාරච්චි යන මහත්වරු, වී අලෙවි මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ වී ගොවීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Shares: