Global Platform For All Sri Lankans

Lanka Hit News

ලාංකිකයින්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ?

 

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී ඊයේ (09) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

එහිදී දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම් ද පිළිගන්වනු ලැබුවා.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දකුණු කොරියාවේ කැපවීම, තානාපතිනි මියොන් ලී විසින් මෙහිදී තහවුරු කරනු ලැබූ අතර දෙරට අතර දිගුකාලීන සබඳතා පිළිබඳවද එහිදී සිහිපත් කෙරුණා.

ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින බව සඳහන් කළ තානාපතිවරිය, දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින් එම ප්‍රේෂණ ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවට එහිදී පොරොන්දු වුණා.

මීට අමතරව, කොරියානු සංචාරකයින් අතර සංචාරය කිරීම සඳහා ආකර්ශනීය රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළා.

ශ්‍රී ලංකාව සඳහා ආර්ථික වශයෙන් සහය ලබාදීම පිළිබඳවද සහතික වූ තානාපතිවරිය, දකුණු කොරියාව ද මීට පෙර අවස්ථාවලදී මෙවැනිම ආර්ථික අභියෝගවලට මුහුණ දුන් බවත්, ඒවා ජයගැනීමේ දී කොරියාව ලැබූ අත්දැකීම් ශ්‍රී ලංකාවට ද උපයෝගී කරගත හැකි බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

කොරියානු එක්සිම් බැංකුවේ ආයෝජන සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සලකමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා කරනු ලැබුවා.

තව ද, සෞඛ්‍ය ආරක්ෂණය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන ක්ෂේත්‍රයන් සඳහා කොරියානු සහයෝගය ලබා දීමටද දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී සහතික වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් වඩාත් හොඳින් ඒ සඳහා සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොරියානු භාෂා අධ්‍යාපනය පුළුල් කිරීම කෙරෙහි වන දකුණු කොරියාවේ කැමැත්ත ද තානාපති ලී විසින් එහිදී තව දුරටත් අවධාරණය කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads