Global Platform For All Sri Lankans

Lanka Hit News

දියවඩන නිළමේවරයෙකු තේරීමේ ඡන්ද විමසීම නොවැම්බර් හෝ දෙසැම්බර්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිළමේ ප්‍රදීන් නිලංග දෑල මහතාගේ ධූර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස අවසන් වීමට නියමිත අතර නව දියවඩන නිළමේවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල් සතියේ පැවැත්වීමට නියමිතයි.

වර්ෂ 2005 දී එවකට දියවඩන නිළමේ ධූරය හෙබවූ නෙරංජන් විජයරත්න මහතා පරාජය කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධූරයට පත් නිලංග දෑල මහතා දස වසරක ධූර කාලය නිමා වීමෙන් පසුව 2015 වසරේ දී පැවති ඡන්දයෙන්ද පහසුවෙන් ජයග්‍රහණය කළා.

ඒ අනුව ඒ මහතා මේ වනවිට සිය පළමු හා දෙවන ධූර කාලයට අදාළව වසර 20 ක් දියවඩන නිළමේ ධූරය හොබවා තිබෙනවා.

මෙවර ද නිලංග දෑල මහතා දියවඩන නිළමේ ධූරයට පත්වුවහොත් එම ධූරය තෙවරක් දැරෑ ප්‍රථමයා ලෙස ඒ මහතා ගේ නම ඉතිහාසයට එක්වනු ඇති.

පසුගිය වතාවේ දී නාථ දේවාලයේ බස්නායක නිළමේ ගයාන් හීන්කෙන්ද මහතා තරඟයට ඉදිරිපත්ව පරාජය වූ අතර, හීන්කෙන්ද මහතා පරාජය කරමින් නාථ දේවාල බස්නායක නිළමේ ඡන්දය ජයග්‍රහණය කළ සරත් බණ්ඩාරනායක මහතා මෙවර දියවඩන නිළමේ ඡන්දයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු දශක දෙකකට වැඩි කාලයක් බස්නායක නිළමේවරයෙකු ලෙස කටයුතු කර ඇති බවත් සඳහන්.

මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිළමේ දමින්ද උඩුරාවණ මහතාගේ නම ද දියවඩන නිළමේ ධූරය සඳහා ඉදිරිපත් වන පුද්ගල නම් අතර කියවෙන අතර තමන් ඒ සඳහා ඉදිරිපත් වන බව ඒ මහතා මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.

දියවඩන නිළමේ ධූරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම මෙම වසරේ පැවැත්වෙන බව නිවේදනය වීමත් සමඟ එම ධූර කාලය අවස්ථා දෙකකට පමණක් සීමා විය යුතු බවට කතා බහක් ද කරළියට පැමිණ ඇති බව වාර්තා වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads