කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයට අයත් උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, නැඟෙනහිර කොළඹ සහ බටහිර කොළඹ යන පාර්ලිමේන්තු කොට්ඨාස 5 තුළ රථවාහන නැවතුම්පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ මහා නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26කට අධික බදු මුදල් ගෙවීම පැහැරහැර ඇති බව කොළඹ මහා නගර සභාවේ ඉංජිනේරු අධ්‍යක්ෂ පී.ඒ. චන්ද්‍රපාල මහතා පැවසීය.
කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුළ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන පසුගිය වසරේ (2023) පමණක් රුපියල් කෝටි විස්සකට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර තිබියදීත් 2024 වසර සඳහාද
එම රථවාහන නැවතුම්පොළවල්ම පවත්වාගෙන යෑමට එම ආයතනවලට අවසර දී ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ වන විට රථවාහන නැවතුම්පොළවල් පවත්වාගෙන යන ආයතන 26ක් එලෙස මුදල් ගෙවීම පැහැරහැර ඇති බව වගුවක ආකාරයෙන් තොරතුරු දක්වමින් අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතාට දැනුම් දී ඇති බවද පැවසේ.
කොළඹ නගරයේ රථවාහන නැවතුම්පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන පිළිබඳවන හා එම ආයතන 2023 වසර අවසානය වන විට සහ 2024 අප්‍රේල් 30 දා වන විට ගෙවීම් පැහැරහැර ඇති බදු මුදල් ප්‍රමාණය කොපමණද? යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත අනුව
කොළඹ මහා නගර සභාවේ කොමසාරිස් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියගෙන් කළ විමසුමකදී ඉංජිනේරු අධ්‍යක්ෂ පී.ඒ. චන්ද්‍රපාල මහතා මේ බව දැනුම් දුනි.
කොළඹ නගරයේ රථවාහන නැවතුම්පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන 26 ඉකුත් වසර අවසානය වන විට රු. 204,164,119ක සහ 2024 අප්‍රේල් 30 දා වන විට රු. 264,859,471ක බදු මුදල් පැහැරහැර ඇති බව සඳහන් කරන පී.ඒ. චන්ද්‍රපාල මහතා 2023 වසර අවසානය වන විට බදු මුදල් ගෙවීම පැහැරහැර ඇති ආයතන වෙනම 2024 වර්ෂය සඳහාද රථවාහන නැවතුම්පොළවල් පවත්වාගෙන යෑමට අවසර ලබා ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
(ආරියරත්න ගනේගොඩ)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News