Global Platform For All Sri Lankans

Update 16: පැටී කරන්නෙ කුඩු බිස්නස් බව දන්නෑ

dulan-court

ටැටූ ආයතනය විවෘත කිරීමට ගායන ශිල්පි කේ. සුජීවා මහත්මියට ආරාධනා කළ බව පැවැසූ විට පාතාල නායක ලොකු පැටී අයියා ක්ලබ් වසන්ත මහත්තයාටත් ආරාධනා කරන ලෙස ඉල්ලීමක් කළ බව ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකුට මරු කැඳවූ වෙඩි ප්‍රහාරය සිදු වූ අතුරුගිරියේ ටැටූ සාප්පුවේ හිමිකරු වන දුලාන් සංජුල ද සිල්වා පොලිසියට ප්‍රකාශ කළ බව පොලිසිය බී වාරිතාවක් මගින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10) දැනුම් දුන්නේය.

“ඔයාගේ ආයතනය ඕපන් කරන්න ක්ලබ් වසන් තටත් ආරාධනා කරන්න. මොකද මුහුණු පොතේ එයාගේ ජනප්‍රිය පිටුවක් තියෙනවා.

එතකොට ඔයාගේ වැඩේ ඒ පිටුවේ ගියාම ඔයාට වැඩ ගොඩක් ඒවි” යැයි ලොකු පැටී අයියා පැවැසූ බව ද දුලාන් සංජුල පොලිසියට පවසා ඇතැයි බී වාර්තාවේ සඳහන් කර ඇත. ආයතනය විවෘත කිරීමට තමාට උදව් කරන බව ලොකු පැටී පැවැසූ බවත්, ඒ සඳහා ඔහු ලක්ෂ අටක මුදලක් තමාට දෙවතාවකට එවූ බවත්, සංජුල දුන් ප්‍රකාශයේ සඳහන් වේ.දුලාන් සංජුල ද සිල්වා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.

“මට රස්සාවක් තිබුණෙ නෑ. ටැටූ ෂොප් එකක් කරන්න හරි ආසාවෙන් හිටියේ. මගේ යාළුවන් ඔක්කොම දැනගෙන හිටියා මම ටැටූ ෂොප් එකක් කරන්න ආසාවෙන් ඉන්නවා කියලා. ඔය අතරෙදි තමයි මට මහේෂ්ව හම්බ වුණේ. එයා කිව්වා එයාගේ අයියා කෙනෙක් ඉන්නවා, ටැටූ ෂොප් එක දාන්න උදව් කරයි, කතා කරන්න කියලා. ඒ විදිහට තමයි මම ඒ අයියාට කතා කළේ. මම දන්නෙ නෑ ඒ කවුද කියලා. පස්සේ ෂොප් එක දාන්න කීයක් යනවා ද කියලා ඒ අයියා ඇහුවා. මම කිව්වා හොඳටම කරනවා නම් ලක්ෂ පහළොවක් විතර යනවා කියලා. පස්සේ එයා මට කිව්වා ලොකු පැටී කියන්නේ මට, මම වැඩේට උදව් කරන්නම් කියලා. පස්සේ ලොකු පැටී අයියා දෙවතාවකට මට ලක්ෂ අටක් එව්වා.

ඊට පස්සේ ඒ අයියා මගෙන් ඇහුවා කාට ද දැන් මේ ආයතනය විවෘත කරන්න එන්න කියන්නේ කියලා. ප්‍රසිද්ධ ගායිකාවක වන කේ. සුජීවා අක්කත් එක්ක මම හිතවත් නිසා මම කිව්වා එයා ගෙන්නගන්න හිතාගෙන ඉන්නේ කියලා. ඒ ගමන තමා ඒ අයියා මට කිව්වේ ආයතනය විවෘත කරන්න ක්ලබ් වසන්ත මහත්තයාට එන්න කියන්න, එයාගේ මුහුණු පොතේ ප්‍රසිද්ධ පිටුවක් තියෙනවා, ඒක්කේ ඔයාගේ ආයතනය විවෘත කරන එක පළ වුණාම වැඩ ගොඩක් එයි කියලා. ඒ නිසා තමයි මම සුරේන්ද්‍ර වසන්ත මහත්තයාට මේකට ආරාධනා කළේ.

ලොකු පැටී අයියා වස්ඇප් ඔස්සේ සාමාන්‍ය ඇමතුම් තමයි මට ලබා ගත්තේ. ඒ අතරෙදි කතා කරනකොට මගෙන් පැටී අයියා ඇහුවා, මේ වැඩෙන් සල්ලි හොයන්න පුළුවන් ද කියලා. මම කලින් ටැටූ ආයතනයක වැඩ කරලා තිබුණ නිසා මම දන්නවා මේකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා. මම ඒ ගැන පැටී අයියාට කිව්වා. හරි මම බලලා කියන්නම් කියලා එයා ඇමතුම විසන්ධි කළා.

පස්සේ දවස් දෙක තුනක් යනකන් පැටී අයියා කතා නොකරපු නිසා මම ඇමතුමක් ගත්තා. අරගෙන ඇහුවා, අයියේ ටැටූ ෂොප් එක දානවා ද කියලා. හොඳයි අපි වැඩේ කරමු කියලා එයා කිව්වා. ඊට පස්සේ මට ඇමතුමක් දීලා කිව්වා කඩයක් දාන්න තැනක් බලන්න කියලා. මම තැන් දෙක තුනක්ම බැලුවා. ඒ අතරෙදි තමයි මට අතුරුගිරියේ මේ කඩය හම්බ වුණේ. පස්සේ මම පැටී අයියාට ඒ ගැන විස්තර කිව්වා. කඩය දාන්න අවශ්‍ය උපකරණ ගන්න කොටේෂන් එකක් අන් මම වට්ස්ඇප් කරලා යැව්වා. ෂොප් ඒක පටන්ගන්න කියලා මුලින්ම යතුරුපැදියකින් ආපු කෙනෙක් මට ලක්ෂ දෙකක් දීලා ගියා.

මම  මුදල කඩේට බඩු ගන්න කොටේෂන්   ගත්තු අයිතිකරුගේ ගිණුමට බැර කළා. ඊට පස්සේ මගේ අම්මාට කියලා රුපියල් 20,000ක් හොයාගත්තා පොලියට. ඒ සල්ලි අරගෙන දවස් දෙකක් පුරා හැම තැනම කඩයක් හෙව්වා. බම්බලපිටිය, කඳාන, රාගම, ජාඇළ, සීදුව හැම තැනම කඩයක් හෙව්වා. ඒ අතරෙදි තමයි මම දන්න අයියා කෙනෙක් මාර්ගයෙන් අතුරුගිරිය කඩය හම්බ වුණේ මට. ඒකට අවශ්‍ය හත් ලක්ෂ අසූ දාහක මුදලක් මට පැටී අයියා එවලා තිබුණා. ඒ මුදලින් තමයි කඩය කුලියට ගත්තේ. ඊට පස්සේ මගේ අයියා ගිණුමකට ලක්ෂ හයක් බැර කරලා තිබුණා. එතකොට ලක්ෂ දාසයකට ආසන්න මුදලක් මට පැටී අයියා එවලා තිබුණා.

ඊට පස්සේ තමයි පැටී ඇහුවේ, කාට ද දැන් කඩය විවෘත කරන්න එන්න කියන්නේ කියලා. ගායිකාවක් වන (කේ. සුජීවා අක්කත් එක්ක මම හිතවත් නිසා පැටී අයියාට කිව්වා, සුජීවා අක්කාට එන්න කියනවා කියලා. ඒ වෙලාවේ තමයි පැටී අයියා මගෙන් ඇහුවේ, ක්ලබ් වසන්ත අඳුරනවා ද කියලා. එවෙලේම මම කිව්වා පොඩි කාලේ ඉඳලාම වසන්ත සර්ගේ රසිකයෙක් මම, එයාගේ වීඩියෝ බලනවා. ඒත් පෞද්ගලිකව අඳුරන්නේ නෑ කියලා.

ඒ වෙලාවේ පැටී අයියා කිව්වා, වසන්ත අයියාට මාර ෆෑන් බේස් එකක් තියෙන්නේ. එයාගේ මුහුණු පොතේ පිටුවෙන් අපේ ෂොප් එකේ විස්තර බෙදා ගන්න පුළුවන් වුණොත් ලොකු ප්‍රචාරයක් ගන්න පුළුවන් කියලා. එහෙම කරගන්න පුළුවන් නම් අපි ගොඩ කියලා මම පැටී අයියට කිව්වා. එතකොට පැටී අයියා කිව්වා, ඔයා කතා කරලා බලන්න වසන්ත අයියාට කියලා. මම කිව්වා, මොකුත් නම්බර් එකක් නෑ කියලා. ඊට පස්සේ පැටී අයියා මට වසන්ත අයියාගේ නෝනාගේ ක්‍රීම් බිස්නස් එක කරන නම්බර් තියෙන ස්ක්‍රීන් ෂොට් එකක් එවලා තිබුණා දුරකතනයට.

පැටී අයියා වසන්ත අයියාට කතා කරලා තිබුණෙ නෑ, මට කතා කරන්න කියලයි කිව්වේ.

මේ ෂොප් එකට මුදල් දාන්නේ පැටී කියලා කියන්න එපා කිව්වා. මම ඇහුවා, ඒ ඇයි කියලා. වසන්ත අයියා බය වෙයි කිව්වා. ඒ ගමන පැටී අයියා කිව්වා මම මත්ද්‍රව්‍ය බිස්නස් එකක් කරනවා, වසන්ත අයියා ඒවාට කැමැති නෑ කියලා. එතකොට තමයි මම දන්නේ මේ ලොකු පැටී අයියා කුඩු බිස්නස් කරන කෙනෙක් කියලා.ඒ අතරෙදී ලොකු පැටී අයියා කිව්වා, මල්ලි මම දැන් මේකට ලොකු මුදලක් වියදම් කරලා තියෙනවා, අතරමගදී දාලා යන්න නම් එපා කියලා. මගේ හොඳ පැත්ත වගේ තමයි නරක පැත්තත් කියලා කිව්වා. මම ලොකු පැටී අයියාට කිව්වා එහෙම කරන්නෙ නෑ අයියේ, මම ආසාවෙන් මේ වැඩේ කරන්නේ, මගේ හීනයක් තමයි මේ ටැටූ ෂොප් එක කියලා.

ඊට පස්සේ තමයි මම වසන්ත අයියා සම්බන්ධ කරගෙන එයත් එක්ක කතාබහ කරලා මගේ ටැටූ ෂොප් එක විවෘත කරන්න ආරාධනා කළේ.” මෙම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට උපක්‍රමිකව මුදල් ලබා දී, වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත එම ස්ථානයට කැඳවාගෙන ඒමට ඩුබායිහි වෙසෙන සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටී නමැත්තා කටයුතු කර ඇති බව මෙහිදී අතුරුගිරිය පොලිසියේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. මේ අතර අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක දී වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හත් දෙනා ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය ඊයේ (10) දින නියෝග කළාය.

සැකකරුවන් හත් දෙනා සඳහා පැය 48ක කාලයක් රැඳවුම් නියෝග දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් බන්ධනාගාර ගත කිරීමෙන් එම පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක් වන්නේදැයි විමසා සිටියාය. එහිදී පොලිසිය සෑහීමකට පත් විය හැකි පිළිතුරක් නොදුන් බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් අවශ්‍ය ප්‍රශ්න කිරීම් බන්ධනාගාරයේදී කිරීමටත් නියෝග කළාය.

මෙහිදී ප්‍රධාන සැකකරු වන ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජුලද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා තම සේවාදායකයාට රහස් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බව අධිකරණයට දැන්වීය.ඒ පිළිබඳව සලකා බලා ඉදිරියේදී නියෝගයක් දෙන බවද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙම සැකකරුවන් මාධ්‍යය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කර එය පටිගත කර විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරණයට සැලැස්වීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණ හමුවේ කරුණු මතු කළ අවස්ථාවේදී අදහස් දැක්වූ මහේස්ත්‍රාත් චානිමා විජය බණ්ඩාර මහත්මිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙර විද්‍යුත් නාලිකාවල සහ සමාජ මාධ්‍ය මගින් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවට ප්‍රචාරය කිරීම පිළිබඳව පොලිසිය ලෙස දොෂ දර්ශනයට ලක් කලාය.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන බලපිටිය, මොහොට්ටියාවත්ත ගුණානන්ද මාවත බලපිටියගේ දුලාන් සංජුල ද සිල්වා (28) නමැති ධීවරයෙක් සහ ටැටූ ශිල්පියෙක්, අහුන්ගල්ල, පාගොඩමුල්ල ධම්ම කුසල පෙදෙස පදිංචිකරුවකු වන යගම මහේෂ් ධනුෂ්ක ද සිල්වා (27) නමැති හිටපු යුද හමුදා සෙබළෙක්, බොල්ලත්තාව දෙනිය පාර තුප්පහි මුදලිගේ යෝහාන් කාවින්ද ද සිල්වා (24), අම්බලන්ගොඩ රතු කුරුස නිවාස ගාර්දි පුංචි හේවගේ රසික ලක්මාල් (37) නමැති පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙක්, බෙලිඅත්ත දම්මුල්ල ගම්මඩු ගෙදර විජය නායක කම්කානන්ලාගේ චතුරංග ලක්මාල් (37) නමැති ත්‍රීරෝද රථ රියදුරෙක්, බෙලිඅත්ත, පාළුවත්ත, විල්සන් පාර සෙල්ල හැන්දි චලංක කේෂාන් (28) නමැති එළවළු වෙළෙන්දෙක් සහ බෙලිඅත්ත අත්බෝධිය ගණිෂ්ක ජයරුවන් විජේසිරි (31) යන අය වෙති.

අතුරුගිරිය කඩුවෙල පාර ටැටූ ආයතනයේ හිමිකරු ලෙස පෙනී සිටිමින් ඩුබායි රටේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලත්තුවා හන්දි සංජීව පුෂ්ප කුමාර නොහොත් ලොකු පැටි යන අයගෙන් රුපියල් ලක්ෂ දාසයකට ආසන්න මුදලක් ලබාගෙන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය අදාළ ස්ථානයට ගෙන්වීමට කටයුතු කිරීම යටතේ එහි හිමිකරු වන බලපිටියගේ දුලාන් සංජුල ද සිල්වා යන අය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියේය.

ඩුබායි සිටින ලොකු පැටි නමැත්තාගේ දැනුම් දීම මත අදාළ වෙඩික්කරුවන් පැමිණි ව්‍යාජ අංක යෙදූ මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට සිද්ධියට පෙර දිනයේදී අතුරුගිරිය, ගල්පොත්තාව පාර ප්‍රදේශයට රැගෙන විත් තවත් පුද්ගලයකුට එම රථය භාරදීමට සහාය වීම සම්බන්ධයෙන් යගම ගමගේ මහේෂ් ධනුෂ්කද සිල්වා යන අයට චෝදනා ඉදිරිපත් කර තිබුණි.අනෙක් සැකකරුවන් අපරාධයට අනුබලදීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළේය. පැමිණිල්ල වෙනුවෙන් අතුරුගිරිය පොලිසිය කටයුතු කළ අතර විත්තිකරුවන් වෙනුවෙන් නුවන් ජයවර්ධන මහතා ප්‍රමුඛ නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ.

ගයාන් සූරියආරච්චි

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads