Global Platform For All Sri Lankans

ආසා ආසා අය බිරියන් කරගත් කැරොකේ වසන්තගේ සැඟවුණු කතාව

wasantha-perera-love-story

රාජපක්ෂ දොන් සුරේන් වසන්ත පෙරේරා නොහොත් කැරොකෙ වසන්ත නුවරඑළියේ ජීවත්වූ සාමාන්‍ය පවුලක සාමාජිකයෙකි. ඔහුගේ මව ‘භූතානි’ නමැති ව්‍යාපාර ජාලයේ හිමිකරු යටතේ සාමාන්‍ය රැකියාවක ද නිරත වූ තැනැත්තියක් බව තතු දත්තෝ පවසති.

කියැවෙන ආකාරයට අනුව ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ නුවරඑළියේ ගාමිණි විද්‍යාලයෙනි. අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොවූ තැනැත්තෙක් වූ වසන්ත පෙරේරා උසස් අධ්‍යාපනයක් පවා ලැබූවෙක් නොවීය. එහෙත් කුඩා කල සිටම ඔහු මුදල් ගනුදෙනුවලට දක්ෂයෙකි. කඩචෝරු කන්නට නිවෙසින් ලැබෙන සුළු මුදල පවා ඔහු මිතුරන්ට පොලියට දුන්නෙකි.

වසන්ත පෙරේරාගේ ජීවිතය යම් වෙනසකට ලක්වන්නේ ජපානයේ රැකියාවක් සඳහා පිටත්ව යාමෙන් අනතුරුවය. වසර ගණනාවක් ජපානයේ රැකියාවක නිරතව සිටි වසන්ත නැවත මෙරටට පැමිණීමෙන් අනතුරුව සන්හිල් නමින් නුවරඑළියේ අවන්හලක් විවෘත කරනු ලබන්නේ දුක් මහන්සියෙන් එකතු කරගෙන පැමිණි ලොකු මුදලක් ඒ සඳහා ආයෝජනය කරමිනි.

ජපානයේදී ඔහු ලද ඇතැම් අත්දැකීම් ද සමඟින් ඇරඹි සන්හිල් අවන්හල වැඩි කලක් යන්නට මත්තෙන් නුවරඑළියේ ප්‍රසිද්ධ අවන්හලක් බවට පත්වන්නේ ඔහුට ද සිතාගන්නට බැරි තරමටය.

වසන්ත පෙරේරා කුඩා කල සිට චිත්‍රපට පිස්සෙකි. ඔහු විශේෂයෙන් නිළියන්ට පෙම් බැන්දේය. ඒ නිසාම ඔහු නුවරඑළියේ එකල චිත්‍රපට රූගත කිරීමක් තිබේ නම් ඒ පැත්තේ කරක් ගැසුවේය. එකල නුවරඑළියේ ජනප්‍රියතම ස්ථානයක් වූයේ බෝඩ් යාඩ් එකය. චිත්‍රපට රූගත කිරීම් බොහොමයක් සිදු වූයේ බෝඩ් යාඩ් එක හා ඒ අවටය. එහිදී ඔහුට එකල ජනප්‍රිය නළුවෙක් දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ බෝඩ් යාඩ් එකේදීය. චිත්‍රපට අධ්‍යක්ෂණයේ ද නිරත වූ එම නළුවා සමඟ ඇති කරගත් සම්බන්ධය සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙතැයි වසන්ත සිහිනෙකින්වත් සිතුවේ නැත. වරක් මේ නළුවා නුවරඑළියේ පිහිටි සන්හීල් අවන්හලට රැගෙන එන්නේ එකල පැවති ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයෙකි. ඇමතිවරයෙක් ද වූ ඔහු චිත්‍රපට නළුවාගේ සමීප හිතවතෙක් ද විය. වසන්ත එදා මේ දේශපාලනඥයාට සලකන්නේ මනදොල පිරෙන්නටය. කොළඹ බේරේ වැවේ තිබුණු පාවෙන අවන්හල වසන්තට ලැබෙන්නේ එම දේශපාලනඥයා හරහාය. නුවරඑළියේ සිට කොළඹට එන්නට වසන්තට මඟ පෑදෙන්නේ එසේය.

අදාළ දේශපාලනඥයාගේ උවමනා එපාකම් ගැන සොයා බලමින් ඒ හැම දෙයක්ම ඉටු කරමින් සිටි වසන්ත ඔහුගේ විශ්වාසයත් දිනා ගත්තේය. ඒ නිසාම අදාළ දේශපාලනඥයා වසන්තගේ නමින් ව්‍යාපාර ආරම්භ කිරීමට ලොකු ආයෝජනයක් ද කළේය. කොල්ලුපිටිය මැරීන් ඩ්‍රයිව්හි සන්හිල් නමින් කැරොකේ අවන්හලක් විවෘත වන්නේ ඒත් සමඟිනි. දැඩි දේශපාලන සම්බන්ධකම් හේතු කොටගෙන බලයෙන් ද මුසපත් වන වසන්ත කැරොකේ අවන්හල් ජාලයක හිමිකරුවෙක් බවට ඒත් එක්කම පත්වූයේය.

වසන්තගේ නම ඉදිරිපිට කැරොකේ වසන්ත යැයි කියැවෙන්නට ගත්තේ ඒත් එක්කමය.

ප්‍රභූවරයෙක් ලෙස ඩිෆෙන්ඩර් පිරිවරාගෙන පුද්ගලික ආරක්ෂකයන් සමඟ ගමන් බිමන් යමින් රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකර වසන්ත හැසිරෙන්නට ගන්නේ වැඩි කල් යන්නට මත්තෙන් රටේ ඉහළම දේශපාලනඥයන්ගේ ඇසුරට ද ඔහු පත්වීමත් සමඟිනි. දේශපාලනඥයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් මුදල් බලයෙන් සිය පාලනයට නතු කරගන්නා වසන්ත ඒ ඔස්සේ සමාජයේ කළ හැකි හැම කුප්ප වැඩක්ම කළ බව ඔහුට සමීපතයන් අදටත් පවසති.

වසන්ත විවාහ කිහිපයක් කරගත්තෙකි. ඒ අතර නීත්‍යනුකූල විවාහයන් කීයක් තිබේදැයි ඔහු සමීපයේ සිටි අය ද කියන්නට දන්නේ නැත. පළමු විවාහය සිදු කරගෙන ඇතැයි පැවසෙන්නේ වරකාපොළිනි. වසන්ත පෙරේරා, සන්හිල් වසන්ත ලෙස භෞතිස්ම ලැබී ගාල කඩාගත්තෙක් ලෙස හැසිරෙන්නට ගැනීමත් සමඟ ඇය ඔහුව අතහැර යන්නේ ඔහුගේ ඇතැම් ක්‍රියා ඉවසා ගැනීමට නොහැකිවය.

අනතුරුව වසන්ත සිය අඹුව බවට පත්කර ගන්නේ පිලිපීන් ජාතික කාන්තාවක් බව පැවසේ. ඇය සිය සැමියා සමඟ වසන්තගේ සන්හීල් කැරොකේ අවන්හල් ජාලයේ සේවයේ නිරත වූ තැනැත්තියකි. ඇයට හිත බැඳෙන වසන්ත ඇගේ සැමියාව පන්නා දමා ඇයව අඹුකමට ගත්තේ ඇගේ දරුවා ද සමඟින් බව සමීපතමයෝ කියති.

අනතුරුව ඔහු තවත් කතුන් කිහිප දෙනෙකුම සිය අඹුවන් ලෙස තබාගෙන ඇති අතර ඒ හැම අඹුවන්ම තබාගෙන සිට ඇත්තේ එකම නිවෙසකය. වරක් ඔහු කොළඹ පිහිටි අවන්හලකට ගිය අවස්ථාවකදී හිත බැඳෙන්නේ එහි සේවිකාවක් වෙතය. ඇය එම අවන්හලේ සේවයේ නිරතව සිටින්නේ සිය පෙම්වතා සමඟිනි. ඇයව තමාගේ කර ගැනීමට සිතක් පහළ වන වසන්ත ඒ යුවළට ආරාධනා කරනු ලබන්නේ ඒ වන විට ඔවුන් ලබන වැටුපට වඩා රුපියල් ලක්ෂයක් වැඩි ලොකු වැටුපකටය. ඊට වහ වැටෙන එම යුවළ සන්හිල් අවන්හලේ සේවයට ගොස් වැඩි කාලයක් ගියේ නැත. පෙම්වතා පොලිසියට හසුවන්නේ ඔහු නොකළ වරදකටය. අවසානයේ ඔහු හිරේ ගිය විට ඇයට සිදු වන්නේ වසන්තගේ අඹුව බවට පත්වන්නටය. වසන්ත සිය අරමුණු වෙනුවෙන් ගේම් ගැසුවේ එසේය.

ඝාතනය වන විට වසන්තගේ බිරිය මැණික්ය. ඇයත් වෙඩි වැදී මේ වන විට සිටින්නේ බරපතළ තත්ත්වයෙනි. තතුදත් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව මැණික් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කාන්තාවකි. උපාධිය හිමිකර නොගත් ඇය අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී වසන්තට සමීප වීම හේතුවෙන් අධ්‍යාපනය බිඳවැටී ඇති බව කියැවෙති. ඒ යැයි කියා ඇයට වැරදුණේ නැත. වසන්තගේ නරක ගති අතහැර ඔහුව යහමඟට ගැනීමට පසුගිය කාලයේ ලොකුම මෙහෙයක් කර ඇතැයි පැවසෙන්නේ මැණික්ය.

වසන්ත සිය කැරොකේ ව්‍යාපාරය කරගෙන ගියේ යැයි කියැවෙන්නේ අනුන්ගේ මුදල්වලිනි. හෙළි කිරීමට නොහැකි අමුතු ජාතියේ හවුල්කාරයන් වසන්තට සිට ඇත. ඒ අතර දේශපාලනඥයන් මෙන්ම පාතාල අපරාධකරුවන් ද නැත්තේම නැත. වසන්ත සන්හිල් ගොඩනැඟිල්ලට පවා වරක් ලොකු ණයක් බැංකුවකින් ලබාගෙන තිබුණේය. එම බැංකුවේ ඉහළ නිලධාරිනියක් සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති කරගත් ඔහු ණය මුදල ලබා ගත්තේ ගොඩනැඟිල්ල ඇපයට තබාය. ඒ ගොඩනැඟිල්ල නොවටිනා වටිනාකමක් ලබාගෙනය. අවසානයේදී එම නිලධාරිනියට සිදුවන්නේ රැකියාව අහිමිව ගෙදර යන්නටය. ඒත් එක්කම සන්හීල් ගොඩනැගිල්ලට වෙන්දේසි කරන්නට බැංකුව කටයුතු කළේය. ඒ වසන්ත ඒ වන විට හැම අතින්ම වැටී සිටි බැවිනි. දේශපාලන බලය, පාතාල බලය මෙන්ම හැම දෙයක්ම ඒ වන විට වසන්තගෙන් ගිලිහී ගොස් තිබුණේය. මේ නිසාම වසන්තට දේශපාලනඥයන්ගෙන් මෙන්ම පාතාලයෙන්ද තර්ජන ගර්ජන එල්ලවී තිබුණේය. ඒ සිය ව්‍යාපාරවල ආයෝජනය කිරීමට ලබාගත් මුදල් නැවත ලබාදීමට නොහැකිව ඔහු ඒ අයව මඟහරින්නට වූ බැවිනි.

මෙසේ ඔහු බිංදුවට ඇදවැටෙන්නේ කැසිනෝ සූදුවට ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එක රැයට ඔහු රුපියල් කෝටි ගණනින් සූදුව නිසාම විනාශ කර ගත්තේය.

විවිධ හේතු නිසා මෙරට කැසිනෝ සමාජ ශාලාවල දොරගුළු වසන්තට වැහෙන විට ඔහු සිංගප්පූරු ගොස් කැසිනෝ ගැසුවේය. වරක් ඔහු රුපියල් කෝටි 10ක්ම පරාජයට පත්වූ බව සඳහන්ය.

මෙසේ සූදුව නිසා ව්‍යාපාර දිය වී යන විට තමා වැටී නැති බව පෙන්වීමට ඔහු නොකළ දෙයක් නැත. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔහු වෙනත් ආකාරයට එළියට එන්නේ ඒත් සමඟිනි. ගෝල්ෆේස් අරගලයේ ද සම්පත් දායකයෙක් ලෙස ඔහු පෙනී සිටියේය. එතෙක් කලක් මෙරට තරු පන්තියේ හෝටල් නිවාස සංකීර්ණයක එක් තට්ටුවක්ම කුලියට ගෙන මෙරට සිටින ප්‍රබල දේශපාලඥයන්, කලාකරුවන්, පාතාල අපරාධකරුවන්, ව්‍යාපාරිකයන් ගෙන්වා එකට මුණ ගස්සවමින් සුපිරි සාදයක් පැවැත්වූ ඔහු එම සාදයන්ට පවා නැවතීමේ තිත තබන්නේ ඒත් සමඟිනි. ඒ වෙනුවට ඔහු සිය 55 වන උපන්දින සාදය පවා මෑතකදී සමරන්නේ තමාට සමීපතම කිහිප දෙනෙක් ගෙන්වාගෙනය.

ජීවිතයේ විඳින්නට ඇති සෑම සැපක්ම හොඳින් මෙන්ම නරකින් ද විඳි වසන්තට ලෝකයේ විවිධ රටවල ව්‍යාපාර ඇතැයි කීවත් සැබෑ ලෙසම ඔහුට එවැනි ව්‍යාපාරයක් කොහේවත් නොමැති බවත් මෙරට තිබෙන ව්‍යාපාර පවා මේ වන විට ඇත්තේ බංකොලොත්භාවයට පත්ව බවත් ඔහුට සමීපතයෝ පවසති. අඩුම තරමින් තමාගේ බොඩිගාඩ්ලාට පවා පඩි ගෙවා ගැනීමට වසන්තට හැකියාවක් ලැබී නැත. අතුරුගිරියේදී ඔහු වෙඩි කන විට වෙනදා මෙන් ඔහු වටා බොඩි ගාඩ්ලා නොවූයේ එබැවිනි. මේ තැනට වසන්ත වැටෙන්නේ සුරාව, සූදුව සහ ගැහැනුන්ට ලොල් වීම නිසා බව ඔහුව සමීපව ඇසුරු කළ අයට නම් රහසක් නොවේ.

(ගයාන් කුමාර වීරසිංහ)



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads