සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුට අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් මාදම්පිටිය ප්‍රදේශයේදී මෙම මස 21 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ 15, හෙලමුතු සෙවණ පදිංචි 23 හැවිරිදි ජූලියන් මාදවන් නමැති සැකරු ලබන මස 04 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම සැකකරු ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කළ වෙඩික්කරු බව කියන මහරගම පදිංචි 27 හැවිරිදි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නමැත්තාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින් මනුෂ්‍ය ඝාතනයට අධාර අනුබල දීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අධිකරණය වෙත දන්වා සිටියේය.
2025 පෙබරවාරි 19 වැනිදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්තිකූඩුවේ සිටි ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අධිකරණය වෙත දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මෙම සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි සොයා තවදුරටත් පුළුල් විමර්ශනයක් කරන බව දන්වා සිටියේය.
No commnets