මියන්මාරයේ පවතින සිවිල් යුද්ධයෙන් විනාශ වූ එමෙන්ම භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවලට සහනාධාර රැගෙන යමින් සිටි චීන රථ පෙළකට මියන්මාර හමුදා ජුන්ටාව වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සන්නද්ධ කැරලිකාර කණ්ඩායමක් වන Ta'ang National Liberation Army (TNLA), BBC පුවත් සේවය වෙත පවසා තිබුණේ, මැන්ඩලේ බලා ගමන් කරමින් සිටිය දී, උතුරු ෂාන් ප්‍රාන්තයේ නවුන්ග් චෝ (Naung Cho) නගරය හරහා ගමන් කරමින් සිටිය දී, බර මැෂින් තුවක්කු යොදාගෙන වාහන නවයකින් යුත් රථ පෙළකට හමුදා භට පිරිස් වෙඩි තැබූ බවයි.
චීන රථ පෙළ එහි ගමන් මාර්ගය සහ ආධාර බෙදා හැරීමේ සැලසුම් ජුන්ටාවට දන්වා ඇති බව ද ඔවුන් පවසනවා.
කෙසේ වෙතත් හමුදාව බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, රථ පෙළ ඒ හරහා යන බව තමන්ට දැනුම් නොදුන් බවත් එය නොනැවතුණු නිසා වෙඩි තැබූ බවයි.
මේ අතර Myanmar Now ප්‍රවෘත්ති සේවය කියා සිටින්නේ, තමන් චීන රතු කුරුස ආධාරක රථ පෙළකට වෙඩි තැබූ බව ජුන්ටාව තහවුරු කළ බවයි.
වාහන නවයකින් සමන්විත රථ පෙළ උතුරු ෂාන් ප්‍රාන්තයේ නව්න්ග්කියෝ (Nawnghkio) නගරයේ ගමන් කරමින් සිටියදී මෙම සිදුවීම සිදුවී ඇති බව ජුන්ටා ප්‍රකාශක මේජර් ජෙනරාල් සව් මින් ටුන් (Zaw Min Tun) උපුටා දක්වමින් Myanmar Now විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
වෙඩි තැබීම සිදුව ඇත්තේ Nawnghkio නගරයේ සිට සැතපුම් 10ක් නිරිත දෙසින් පිහිටි ඔන්-මා-තේ (Ohn Ma Thee) නම් ගම්මානය අසල දීයි.
No commnets