ඒ සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළා.
හලාවත, සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන ඇති බවට හලාවත පොලීසියට තොරතුරක් ලැබී තිබුණේ අද (20) අලුයම 6ට පමණයි.
ඒ අනුව, හලාවත පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එහි ගොස් ගින්න මැඬපැවැත්වීමට පියවර ගෙන තිබුණා.
අනතුරුව විමර්ශන නිලධාරීන් නිවස තුළ සිදුකළ පරීක්ෂාවේදී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණු අතර,
එලෙස මියගොස් තිබුණේ, වයස අවුරුදු 51ක් වන එස්.ජී. සේනාරත්න නම් නිවෙස් හිමියා, 44 හැවිරිදි මංජුලා නිරෝෂනී නම් ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂා යන අය බවටයි වාර්තා වුණේ.
මවගේ මළ සිරුර නිවසේ පහත මාලයේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගැණුනු අතර පොලීසිය සඳහන් කළේ ඇගේ ගෙල කපා දමා තිබූ බවයි.
පියා සහ දියණියගේ මළ සිරුරු හමුවී තිබුණේ නිවසේ සාලයේ තිබියදීයි.
මියගිය කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් වන අතර, ප්‍රදේශයේ දහම් පාසලේ ගුරුවරියක ලෙසද කටයුතු කර තිබෙනවා.
ඇගේ සැමියා ඉඩම් හා රථවාහන ව්‍යාපාරයක නිරතව සිටි අයෙක් බවටයි සඳහන්.
හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබු ඔවුන්ගේ දියණිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබෙනවා.
එසේම, මීට මසකට පමණ පෙරද මෙම නිවසේ තිබූ ලක්ෂ 25ක පමණ රන් ආභරණ අතුරුදහන්වී තිබූ බවට ද තොරතුරු ලැබී තිබෙනවා.
නිවසට කිසිවෙකු හෝ පිටතින් ඇතුළු නොවී තිබියදී එලෙස රන් භාණ්ඩ අතුරුදන් වීම මේ දක්වා නොවිසඳුණු අබිරහසක්ව පැවති බවද සඳහන් වුණා.
කෙසේ වෙතත්, අද දහවල් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු හලාවත මූලික රෝහල වෙත රැගෙන යනු ලැබුවා.