Global Platform For All Sri Lankans

මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්..

ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ, දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්ව ඇති බවට දුරකථන ඇමතුම් ලැබී ඇති බවයි.

ඉන් පසු ,ඔවුන් පැමිණි වාහනය අලුත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් 10,000ක් වැනි හදිසි මුදලක් ඊෂිකෑෂ් ක්‍රමයට එවන ලෙස අදාළ පාර්ශවයන් වෙතට දැනුම් දී ඇති බවත් හෙළිව තිබෙනවා.

මේ පිළිබඳව විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බවද, එහිදී ඇතැම් ස්ථාන මගින් මුදල් ලබා දීම් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

කෙසේ වෙතත් , ඇතැම් විට මෙහිදී දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් ගරාජයක හිමිකරුවෙකු නැතහොත් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් විශේෂිත පුද්ගලයෙකු ලෙස හඟවමින් සැලසුම් සහගත ලෙස උපක්‍රමශීලීව කථා කරමින් මෙම මුදල් වංචා කිරීම් සිදුකරන බවයි සඳහන් වන්නේ.

මෙම දුරකථන අංක පරීක්ෂා කිරීමේදි බොහෝ අවස්ථාවල එම අංක මියගිය පුද්ගලයින්ගේ හෝ විදේශිකයින් ආශ්‍රිතව ලබාගත් සිම්කාඩ් පත් බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයින් බොහෝවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෝ යම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවත් මෙය සංවිධානාත්මකව කරනු ලබන ක්‍රියාවක් බවත් නිරීක්ෂණය වී ඇතැයිද පොලීසිය පවසනවා.

එබැවින් තමාට එවැනි දුරකථන ඇමතුමක් ලැබුණහොත් කෙසේ හෝ එම ආපදාවට ලක්වූ බවට සඳහන් පුද්ගලයින් දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙසත් මෙම වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads