නව වසර උදාව නිමිත්තෙන් රාජකාරියේ නිරතව සිටි අම්බලන්තොට පොලීසියේ නිලධාරියෙකු රිය අනතුරකට ලක්ව මියගොස් තිබෙනවා.
අණ නොතකා ධාවනය වූ බිමත් රියදුරෙකුගේ මෝටර් රථයකට යටවීමෙන් අද (01) අලුයමයි මෙම පොලිස් නිලධාරියා මියගොස් ඇත්තේ.
අද අලුයම 2.30 ට පමණ අම්බලන්තොට වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේදී මෙම අනතුර සිදුව තිබුණා.
පොලීසිය පැවසුවේ අම්බලන්තොට දෙසට ධාවනය වූ මෝටර් රථයක් නතර කිරීමට අණ කළද, එය නොනවත්වා පොලිස් නිලධාරීන් වෙතට ධාවනය කර ඇති බවයි.
මියගිය නිලධාරි පොලිස් කොස්තාපල් (82615) එම්. සරත් කුමාර මහතා සූරියවැව, වීරියගම පදිංචි දෙදරු පියෙක්.
ඔහු ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලැබ සිට ඇති අතර, අනිද්දාට අම්බලන්තොටින් පිටත්ව යාමට නියමිතව තිබූ බව වාර්තා වනවා.
ඒ වෙනුවෙන් ඔහුට සමුදීමේ උත්සවය ද අද දින පැවැත්වීමට නියමිතව තිබිය දීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් රාජකාරියේ නිරතව සිටි ග්රාමාරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත්කර සිටිනවා.
පලාගිය මෝටර් රථය අම්බලන්තොට නගරයට ආසන්න ප්රදේශයක තිබී සොයාගෙන ඇති අතර රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනාම මේ වන විට අම්බලන්තොට පොලීසිය විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එමෙන්ම ඔවුන් දෙදෙනාම අධික ලෙස බීමත්ව සිටි බව හෙළි වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.











