දේශීය

නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් 06ක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

 

නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මිය යෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 47 ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුවන් 05 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවත රෝහලේදී සිදු කර ඇති අතර ඇල්කොහොල් විෂ වීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අනෙක් මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී අද (08) සිදු කිරීමට නියමිතයි.

මත්පැන් පානය කර රෝගාතුර වූ තවත් පුද්ගලයින් 08 දෙනෙකු මීගමුව හා පේරාදෙනිය යන රෝහල් වල ප්‍රතිකාර ලබනවා.

නීති විරෝධී මත්පැන් පානයෙන් පසුගිය 6 වනදා පුද්ගලයන් 06 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ අනුවයි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ.

පසුව ඔවුන් දෙදෙනා ඊයේ මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: