උණුසුම් පුවත්

ආපදා කළමනාකරණයෙන් විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ඉදිරි පැය 24 තුළ දී මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ.

ඔහු ප්‍රකාශ කළේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උතුර, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවයි.

ඒ අනුව උතුර පළාතේ මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන ප්‍රදේශවලට මි.මී 75 – 100ත් අතර, වැසි ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපකල්පනය කර තිබෙනවා.

එසේම උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවලට මි.මී 50 – 75ත් අතර වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකියි.

එමෙන්ම නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි හෝ මි.මී 100ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවටයි නිරීක්ෂණය කර ඇත්තේ.

එසේම සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දකුණ පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට විටින් විට ගිගුරුම් සහිත වැසි සහ මි.මී 100ක පමණ වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවලට මි.මී 75 – 100ත් අතර වැස්සක් අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළම බලාපොරොත්තු විය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළමනාකරණය කරනු ලබන වැව් සහ ජලාශවල ජලය 80%ක් – 90ක් අතර ප්‍රමාණයක් පිරී ඇති බවත්, ඒ අනුව අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පැවසුවා.

මේ අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථානවෙත ගමන් කරන ලෙසයි.

මෙම තත්ත්වය තුළ යම් ආපදාවක් ඇති වුවහොත් යුද හමුදා කණ්ඩායම් 80ක්, නාවික හමුදා බෝට්ටු සහ ගුවන් හමුදාව විසින් වීරවිල, පලාවි, රත්මලාන, හිඟුරක්ගොඩ, අනුරාධපුර යන ස්ථානවල හෙළිකොප්ටර් යානා ස්ථානගත කර ඇතැයි ද පැවසු සම්පත් කොටුවේගොඩ මහතා මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද හදිසි අවස්ථාවක් සඳහා සුදානමින් සිටින බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Shares: