පවතින ප්‍රචණ්ඩකාරී විරෝධතා සහ “අනපේක්ෂිත නොවන” ආරක්ෂක තත්වයක් මධ්‍යයේ, ඕස්ට්‍රේලියානු රජය, ඉරානයේ සිටින තම පුරවැසියන්ට “හැකි ඉක්මනින්” ඉරානයෙන් පිටව යන ලෙස නව සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
“ඉරානයට ගමන් නොකරන්න. ඔබ ඉරානයේ සිටී නම්, ඔබ හැකි ඉක්මනින් පිටව යා යුතුය,” යනුවෙන් ඕස්ට්‍රේලියානු රජය පැවසුවේ “දැනුම්දීමකින් තොරව තවදුරටත් උත්සන්න විය හැකි රට පුරා පවතින ප්‍රචණ්ඩකාරී විරෝධතා” උපුටා දක්වමින්.
එමෙන්ම කැන්බරා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ විශාල මහජන රැස්වීම්, පෙළපාලි සහ විරෝධතා ආසන්නයට නොයන ලෙසත්, පළාත් පාලන ආයතනවල උපදෙස් පිළිපදින ලෙසයි.
“ආරක්ෂක තත්ත්වය අස්ථාවරයි. අපගේ උපදෙස් නොතකා ඔබ ඉරානයේ රැඳී සිටියහොත්, ඔබේම ආරක්ෂාව සඳහා ඔබ වගකිව යුතුය,” යනුවෙනුයි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ මෙහෙයුම් අත්හිටුවා ඇති බව පවසමින් එය තවදුරටත් දැනුම් දෙන්නේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ද ඉරානයට යාමෙන් වළකින ලෙස එහි පුරවැසියන්ට උපදෙස් දී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මෙම විරෝධතා හටගෙන ඇත්තේ එරටේ ආර්ථිකය සහ ඉරාන රියාල් වේගයෙන් අවප්‍රමාණය වීම මධ්‍යයේ වූ මුදල් බිඳවැටීමකට ප්‍රතිචාර වශයෙනුයි.
මේ සම්බන්ධයෙන් 2022 න් පසු විශාලතම විරෝධතා ආරම්භ වූයේ දෙසැම්බර් 29 වන දින අගනුවර වෙළෙන්දන් තම වෙළඳසැල් වසා දැමීමත් සමඟ බවයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ.
ටෙහෙරාන් අගනුවර සිට කලාපීය පළාත් දක්වා ව්‍යාප්ත වී ඇති මෙම රාජ්‍ය විරෝධී විරෝධතා හේතුවෙන් විරෝධතාකරුවන්, පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් මිය ගොස් ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා ද බොහෝ ප්‍රමාණයක් සිදුවී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, මෙම විරෝධතා ඉතා ඉක්මනින් ඒකාධිපති පාලන තන්ත්‍රයට එරෙහි පුළුල් කැරැල්ලක් බවට පරිවර්තනය වී ඇති අතර, එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ Smarttraveller වෙබ් අඩවිය උපදෙස් දෙන්නේ ඉරානයේ සිටින ඕනෑම අයෙකුට “හැකි ඉක්මනින්” පිටව යන ලෙසයි.
මෙහිදී ඕස්ට්‍රේලියානුවන් ඇතුළු ඉරානයේ සිටින විදේශිකයන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ ඉහළ අවදානමකට ලක්ව ඇති බවටයි එහි නිලධාරීන් අනතුරු ඇඟවා ඇත්තේ.
මේ අතර ටෙහෙරානය “සාමකාමී විරෝධතාකරුවන් ප්‍රචණ්ඩ ලෙස මරා දැමුවහොත්”, එක්සත් ජනපදය “ඔවුන් බේරා ගැනීමට පැමිණෙනු ඇත” යනුවෙන් අනතුරු ඇඟවූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස් දැක්වීමෙන් පසුව මෙම විරෝධතා තීව්‍ර වී ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන්.











