උණුසුම් පුවත්

විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480ක් අත්අඩංගුවට

2026 වසරේ ගත වූ දින 22 තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්, ඔහු අද (23) මේ බව ප්‍රකාශ කළා.

“විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රියදුරු වෘත්තියේ යෙදෙන සියලු දෙනා නීතියේ රැහැනට හසු කරගනු ලබනවා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදීම රජයේ වගකීමක්. නීතිය සියලු දෙනාටම සමාන ලෙස සලකා කටයුතු කරන ලෙස පොලිසිය දැනුවත් කර තිබෙනවා. 

රියදුරන් පරීක්ෂා කරන්න, වැටලීම් අඛණ්ඩව දියත් කරන්න පහසුකම් ලබා දී තිබෙනවා. 2026 වසරේ සිදුකළ වැටලීම්වලින් පසුගිය දින 22 ට විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලසීමාව තුළ මාර්ග අනතුරු 135ක් සිදුවී තිබෙන අතර දින විසිදෙකට රියදුරන් පහළොස් දෙනෙකු සහ පදිකයින් පනස් දෙනකු මිය ගොස් තිබෙනවා. 

මේ තත්ත්වය වහාම නතර කිරීමට විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. එබැවින් සියලුම බස් රථ හිමියන් තමන් බඳවාගෙන සිටින සේවකයින් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක පිරිස් ද නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා.”

Shares: