Global Platform For All Sri Lankans

Lanka Hit News

නව ජනපති ලෙස තේරී පත්වූ අනුර දිවුරුම් දීම අද ..

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අද (23) සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ, අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.

1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගනු ලැබුවා.

අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.

1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩ නැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාධරයෙකු ලෙස දායකත්වය ලබාදුන් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වුණා.

දැවැන්ත රාජ්‍ය මර්දනයකට ලක් වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනය සිදුවු 1993 කාලවකවානුවෙන් පසුව නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන අනුර කුමාර දිසානායක 1997 වර්ෂයේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරය හිමිකර ගනු ලැබුවා.

1997 වසරේ දීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වු ඔහු 1998 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් වී තිබෙනවා.

1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට තරග වදිමින් පළමු වරට දේශපාලන ප්‍රවේශය ලබා ගනු ලැබුවා.

2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුණා.

2004 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යධුරයේ කටයුතු කරනු ලැබුවා.

2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක 2010 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් ව තිබෙනවා.

2014 වසරේ පෙබරවාරි මස 02 දින පැවති ජනතා විමුක්ති පෙරමු‍ණේ 07 වෙනි ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වට පත් වු ඔහු 2015 වසරේ දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්වුණා.

2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබුවා.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක සියයට 3.16ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් අතර, පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

2021 වසරේ දෙසැම්බර් මස 20 වන දින පවත්වන ලද ජාතික ජනබල වේගය පළමු ජාතික සමුළුවේ දී ජාතික ජන බලවේගයේ නායකත්වට පත්වන අනුර කුමාර දිසානායක, 2024 මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් පත්ව ජයග්‍රහණය කරනු ලැබුවා.

තමන් ජනාධිපතිධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක සඳහන් කළා.

එසේම , අභිනව ජනපතිවරයාගේ ජයග්‍රහණයට රටවල් රැසක නායකයින් රැසක් සුබ පැතුම් එක් කර තිබෙනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads