ඊයේ (17) මත්තල දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම් ස්ථානය අසලදී අනුර කුමාර දිසානායක මහතාට වාචික අපහාස සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් කතරගම වන්දනා ගමනකින් ආපසු පැමිණි පෞද්ගලික බස් රථයක් ආසන පටි නොමැති වීම හේතුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීම වැළැක්වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.
එහිදී බස් රථයේ ගමන් කළ පිරිස සහ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අතර බහින්බස් වීමක් ඇති වී ඇති අතර, එම අවස්ථාවේදී රටේ විධායක ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතාට අපහාස කරමින් පරුෂ වචන ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල කර ඇත.
මෙම සිද්ධිය ජංගම දුරකථනයකින් පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබූ අතර, එය විශාල ප්‍රතිචාරයක් ඇති කළ බවද සඳහන් ව තිබෙනවා.
සිද්ධිය සිදුවන අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇති බව වාර්තා වෙනවා.
* ස්ථානාධිපතිවරයා – ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වෙත
* අනෙක් නිලධාරීන් දෙදෙනා – කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙත
අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නිලධාරීන් අපොහොසත් වීම මූලික කරගෙන මෙම මාරුවීම් සිදුකර ඇති බව තවදුරටත් සඳහන් වෙනවා
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, නීතියට අනුව කටයුතු කරනු ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.











