දේශීය

“වැටුප් හා දීමනා නොගන්නේ එක් මන්ත්‍රීවරයෙක් පමණයි” – සජබ ප්‍රශ්නයෙන් කරුණු රැසක් හෙළිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන වැටුප්, දීමනා සහ විශ්‍රාම වැටුප පිළිබඳ ගැටළුව වත්මන් රජය බලයට පත්වීමත් සමඟම රට තුළ උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
විශේෂයෙන්ම, දින කිහිපයකට පෙර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගත් තීරණයත් සමඟ මේ සංවාදය තවත් උණුසුම් වුණා.

සජබ ප්‍රශ්නය – අගමැතිවරියගේ පිළිතුර
චමින්ද විජේසිරි විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති හරිනේ අමරසූරිය ඊයේ (පෙබ. 19) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට හිමි වැටුප් හා දීමනා පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කළාය.
මන්ත්‍රීවරයෙකුට හිමි ප්‍රධාන දීමනා:
මාසික දීමනාව – රු. 54,285
මාසික සංග්‍රහ දීමනාව – රු. 1,000
රියැදුරු දීමනාව – රු. 3,500
දුරකතන දීමනාව – රු. 50,000
ප්‍රවාහන දීමනාව – රු. 15,000
කාර්යාල දීමනාව – රු. 100,000
රැස්වීම්/කාරක සභා දීමනාව – දිනකට රු. 2,500
එමෙන්ම, නියෝජනය කරන දිස්ත්‍රික්කය අනුව ඉන්ධන දීමනාව ලබාදෙන අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට මාසිකව ඩීසල් ලීටර් 419.76ක් වෙළඳපොළ මිලට අනුව ලබාදෙන බවද අගමැතිවරිය සඳහන් කර තිබුණා.

“වැටුප් නොගන්නේ එක් මන්ත්‍රීවරයෙක් පමණයි”
විශේෂ අවධානයට ලක්වූ කරුණක් වූයේ, වැටුප් හා දීමනා පුද්ගලිකව ලබා නොගෙන ඒවා පක්ෂ අරමුදලට බැර කරන මන්ත්‍රීවරයෙකු පමණක් සිටින බවයි.
අගමැතිවරිය සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ දිගු කාලයක සිට මන්ත්‍රී වැටුප් හා දීමනා පක්ෂ අරමුදලට යොමු කරන දේශපාලන සංස්කෘතියක් අනුගමනය කරන බවයි.
එය අලුත් කරුණක් නොවන බවත්, ජාතික ජන බලයද එම ප්‍රතිපත්තිය අනුගමනය කරන බවත් ඇය තවදුරටත් අවධාරණය කර තිබුණා..

මෙහිදී නැවතත් ප්‍රශ්නයක් යොමු කරමින්, පක්ෂ අරමුදල් භාවිතයෙන් මන්ත්‍රීවරුන් රැකබලා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න විමසීමක් සිදුකර තිබුණා.
ඒ සඳහා පිළිතුරු දෙමින් අගමැතිවරිය ප්‍රකාශ කළේ, මෙය දේශපාලන සංස්කෘතික වෙනස්කම් පිළිබඳ ගැටුමක් බවත්, ජනතාවට අලුත් කරුණක් නොවන බවත්ය.

දේශපාලන සංස්කෘතියේ වෙනසක් ද?
මන්ත්‍රී වැටුප් හා දීමනා පිළිබඳ මෙම විවාදය, සම්ප්‍රදායික දේශපාලන භාවිතාවන් හා නව ප්‍රතිපත්ති අතර ඇති ගැටුමක් ලෙස දක්නට ලැබී තිබෙනවා.
විශ්‍රාම වැටුප් අහෝසි කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන්ගේ වාසි හා වගකීම් පිළිබඳ මහජන අවධානය තවදුරටත් ඉහළ යමින් පවතී.

Shares: