සමාජ මාධ්‍ය තුළ වැරදි තොරතුරු පතුරවන්නන්ටත් නීතිමය පියවර
මැද පෙරදිග පවතින අස්ථාවර තත්ත්වය හමුවේ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට ඇතිවූ කනස්සල්ල හේතුවෙන්, ඇතැම් පුද්ගලයින් විසින් ඉන්ධන අසාධාරණ ලෙස සඟවා තබා ගැනීමට හා වැඩි මිලට නැවත අලෙවි කිරීමට උත්සාහ දරන බව Sri Lanka Police සදහන් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක් අනුව, එවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර නීතිමය පියවර ගැනීමට සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර, Ceylon Petroleum Corporation නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ, රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවත්, මහජනතාව අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොමැති බවත්ය.
එහෙත් එම නිවේදනය නොසලකා, ඇතැම් පුද්ගලයින් කැන්, බාල්දි සහ වෙනත් භාජන භාවිතා කරමින් ඉන්ධන රැස් කිරීමට උත්සාහ දරන බව පොලීසිය පෙන්වා දී තිබෙනවා.
භාජනවලට ඉන්ධන නිකුත් කිරීම තහනම්
ඒ අනුව,
✔️ මත්ස්‍ය නාවික කටයුතු
✔️ කාර්මික හා කාර්යාල කටයුතු
✔️ කෘෂිකාර්මික කටයුතු
✔️ අත්‍යවශ්‍ය ගෘහස්ථ අවශ්‍යතා
වැනි නීත්‍යානුකූල අවශ්‍යතා හැර, වෙනත් කුමන භාජනයකටවත් ඉන්ධන නිකුත් නොකළ යුතු බව පොලීසිය දැනුම් දි තිබෙනවා.
පිරවුම්හල් කළමනාකාරීත්වය සමඟ සම්බන්ධව මෙවැනි ක්‍රියාකාරකම් වැළැක්වීමට කටයුතු කරන ලෙස සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
අසාධාරණ ලෙස ඉන්ධන සඟවා තබා ගැනීම, වැඩි මිලට අලෙවි කිරීම හෝ සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි හා භීතිකාර තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සම්බන්ධ සියලු දෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි පොලීසිය අවධාරණය කරනවා.
මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නිල මූලාශ්‍රවලින් පමණක් තොරතුරු ලබා ගෙන, අනවශ්‍ය භීතිය හා ගැටළු නිර්මාණය නොකරන ලෙසයි











