උණුසුම් පුවත්

කිරිපිටි සහ තිරිඟු පිටි මිල ඉහළ නොයයි – ජනතාවට තාවකාලික සහනයක්

මැදපෙරදිග ගැටුම් සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් ලෝක වෙළඳපොළ අස්ථිර වී ඇති මෙවැනි අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ජනතාවට සුළු සහනයක් ලබා දෙන තීරණයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය අනුව, ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල ගණන් කිසිදු හේතුවක් මත ඉහළ නොදමන බවට සමාගම් අද (23) සහතික වී තිබෙනවා.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවති විශේෂ හමුවකදී, කිරිපිටි ආනයනකරුවන් සහ තිරිඟු පිටි සමාගම් මෙම තීරණයට එකඟ වී තිබෙනවා.
මෙහිදී, සැපයුම් ජාලය පවත්වා ගැනීම සහ අඛණ්ඩ බෙදාහැරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කර තිබුණා.

සමාගම් පෙන්වා දුන්නේ,
ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් තොග ඇති බව
අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් මිල වැඩි නොකරන බව

ඒ අනුව, ජනතාවට අවුරුදු සමයේදී අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ස්ථාවර මිලකට ලබා ගැනීමට හැකි වනු ඇත.

ඉන්ධන මිල ඉහළ යාම සහ ඇමරිකානු ඩොලරයේ අගය වැඩිවීම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබුණද, මෙම අභියෝගාත්මක කාලය තුළ මහජනතාවට සහනයක් ලබා දීම සමාගම්ගේ ප්‍රධාන අරමුණ බවයි ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

බෙදාහැරීමේ ගැටලු සහ විසඳුම්

ඉන්ධන කෝටා සීමාවන් හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු බාධා වී ඇති අතර, එය විසඳීමට රජය විසින් විශේෂ දත්ත රැස් කිරීමේ වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා.
ඒ සඳහා සමාගම් ලියාපදිංචි වීමට ද උපදෙස් ලබා දී තිබෙනවා.

Shares: