උණුසුම් පුවත්දේශීය

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි කැඳවන්නේ අද

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිත වනවා.

සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වන්නේ අද දිනයේයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණයට පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඊයේ පස්වරුවේ නිකුත් කළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ,

“සවස 5 වනවිට පංච පුද්ගල විශේෂඥවරුන් කණ්ඩායමක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදීලා තියෙනවා. ඒ වාර්තාවට අනුව ඔහු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය බව පවසලා තියෙනවා. ඒ අනුුව ඉදිරි පැය 24 තුළත් ඔහු ICU එකේ රැඳෙන්න ඕනේ කියන මතය තමා අපිට ලැබිලා තියෙන්නේ. ඒ අනුව කටයුතු සිද්ධ වෙයි. අපි කියන්නේ විචලනයට භාජනය වුණා එහි සංකූලතා මතුවුණා. එම සංකූලතාවලට ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් සංකීර්ණ සංකූලතා බවට පත්වෙයි. ඒ නිසා තමා ප්‍රතිකාර කරන්නේ.”

යනුවෙනුයි.

කෙසේවෙතත් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නේ ද? නැද්ද? යන්න අද පෙරවරුවේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලබාදෙනු ලබන වෛද්‍ය නිර්දේශය අනුව තීරණය කරනු ලබන බවයි මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රදීප් විජේසිංහ මහතාගෙන් සඳහන් කළේ.

Shares: