විදෙස්

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් – දිවි අහිමි වූවන් ගණන 250කට ඉහළයි

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූමිකම්පාවෙන් මේ දක්වා ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඉන් ඇති වූ ආපදා හේතුවෙන් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 6.0ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා ඇත්තේ කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් එරට බලධාරීන් වාර්තා කර ඇත්තේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි.

භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පළමු භූ කම්පන තත්ත්වය සිදුව පසු කම්පන තත්ත්ව 03ක් සිදුව ඇති අතර ඒවා පිළිවලින් රික්ටර් මාපක 4.5 සහ 5.2 දක්වා පරාසයක පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

භූ කම්පන තත්ත්වයෙන් දැඩි හානි සිදුව ඇත්තේ පාකිස්ථානය සමග දේශසීමා ආසන්නයේ ඇති කුනාර් පළාතේ නොර්ගල් දිස්ත්‍රික්කයටයි.

මේ අතර ඇති වූ හදිසි තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල ගලවා ගැනීම් කටයුතු සඳහා සහාය වන ලෙස තලේබාන් රජයේ නිලධාරීන් විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇති බවද වාර්තා වනවා.

භූ කම්පන තත්ත්වයෙන් පසුව ඇති වූ ගංවතුර සහ පසු කම්පන තත්ත්වයන් හේතුවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් භූ කම්පන තත්ත්ව ඇති වූ ප්‍රදේශයන් වෙත ගමන් කිරීමේ මාර්ග අවහිර වී ඇති බවත්, ගලවා ගැනීම් මෙහෙයුම් සිදුකළ හැක්කේ ගුවන් මගින් පමණක් බවයි එම ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ.

මේ හේතුවෙන් එරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇත්තේ සීමිත සම්පත් ඇති බැවින් බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟ වීමට ගුවන් යානා ලබා ගැනීමට සහාය වන ලෙසයි.

Shares: