මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බැවින් ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (09) නියම කළා.
එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට දැනුම් දෙනු ලැබුවේ විත්තිකරුවන්ට නිසි දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී මෙම විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙන බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන නිසා මෙම නඩු කටයුත්ත අවසන් කළ හැකි බව සඳහන් කළා.
ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියම කළේ විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ නිසි දිනවල පෙනී සිටින ලෙසයි.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණා අධිකරණය හමුවේ පෙනී සිටියා.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ අයථා ලෙස රුපියල් මිලියන 97 කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු, වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනා සහ බෑණා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනුයි ඇප මත මුදාහැරුණේ.











