විදෙස්

බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක ගින්නක් – 16කට දිවි අහිමියි

බංග්ලාදේශයේ අගනුවර වන ඩකාහි, මීර්පූර් ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සහ යාබද රසායනික ගබඩාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් (16) දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගින්න හටගෙන ඇත්තේ ඊයේ (14) එරට වේලාවෙන් පෙ.ව. 11.45 ට පමණයි.

ඇඟලුම් කම්හල් ගොඩනැගිල්ලෙන් දැනට මෘත දේහ දහසයක් සොයාගෙන ඇති බවත්, ඒවා දැඩි ලෙස පිළිස්සී ඇති බැවින් DNA පරීක්ෂණ, හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වනු ඇති බවයි ගිනි නිවන නිලධාරී පවසන්නේ.

මියගිය සියලු දෙනාම විෂ වායු ආශ්වාස කිරීමෙන් මිය යන්නට ඇතැයි ගිනි නිවන ඒකකය සැක කරනවා.

බ්ලීචිං කුඩු, ප්ලාස්ටික් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගබඩා කර තිබූ රසායනික ගබඩාවකට පැතිර ගොස් ඇති බවත්, රසායනික පිපිරීමක් හේතුවෙන් විෂ සහිත දුම් පිටවීම ක්ෂණික මරණවලට හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවයි ඔවුන් කියා සිටින්නේ.

එමෙන්ම කම්හල තුළ තවමත් සෝදිසි මෙහෙයුම් සිදු වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව සඳහන්.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක 12 ක් යොදවා තිබූ අතර, ඇඟලුම් කම්හලේ ගින්න පැය තුනකට ආසන්න කාලයකට පසු මුළුමනින්ම නිවා දමා ඇති බවට බලධාරීන් පසුව තහවුරු කර තිබුණා.

එහෙත්, රසායනික ගබඩාවේ ගින්න තවමත් සම්පූර්ණයෙන් පාලනය කර නැති බවට වාර්තා දක්වන අතර එම ගබඩාවේ ගින්න නිවීමට ඩ්‍රෝන යානා වැනි තාක්ෂණික උපක්‍රම භාවිතා කරන බව සඳහන්.

කෙසේනමුත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම සිද්ධිය බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තයේ ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳව නැවත ප්‍රශ්න මතු කර ඇති බවට ද වාර්තා පළ වන අතර මෙම රසායනික ගබඩාව ද බලපත්‍ර රහිතව ක්‍රියාත්මක වන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.

Shares: