දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති බව සඳහන්.
මීට අමතරව පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් ඇති බවයි රේගුව ප්‍රකාශ කළේ.
දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වනදා සිට ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණා.
ඒ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමටයි රජය පියවර ගැනුණේ.
ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට එහිදී සහල් ආනයනයට අවසර ලබා දෙනු ලැබුවේ මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්වයි.
මෙරට ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය සියයට 10 ක්, එනම් මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක් පමණ වනවා.











