දුෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරී සුමතිපාල මහානාම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ සරත්චන්ද්‍ර ගුණරත්න යන දෙදෙනාට අද (03) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.
ඒ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේයි මෙම නඩුව කැඳවනු ලැබුවේ.
එමෙන්ම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයෙන් නියම වූවා.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයාව අද (03) පෙ.ව. 9.15 ට අත්අඩංගුවට ගෙන තිබුණේ.
ඒ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරු අයි.එල්.කේ. දිසානායක වෙත ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ පළමු උපලේඛනය යටතේ නිකුත්කර තිබූ චෝදනා පත්‍රයක් අනුව පැවැති විධිමත් විනය පරීක්ෂණයකින් පසුව වරදකරු කර එකී දුම්රිය රියදුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න විසින් නිකුත් කර තිබූ විනය නියෝගය සම්පූර්ණයෙන්ම වෙනස්කර ඉහත දුම්රිය රියදුරු සේවයෙන් පහකිරීමට කටයුතු නොකර ඔහුට වාසියක් සිදු කිරීම සම්බන්ධයෙන්.
එමෙන්ම අතර ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරවෙකු වූ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක පෙ.ව. 10.15 ට අත්අඩංගුවට ගෙන තිබුණේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපල නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යොදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදුකිරීමේ චෝදනාව මතයි.











