2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරු 01.30ට අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට සිට දෙසැම්බර් මස 5 දින දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව තිබෙනවා.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතයි.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බවයි.
2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක්.
එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වනවා.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක මුදලකුයි වෙන කර ඇත්තේ.
එසේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554ක් වන අතර ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 455ක්.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබෙන අතර ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා රුපියල් බිලියන 11ක් වෙන්කර තිබෙනා.
එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක පමණ වැඩිවීමක්.
ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතුවන බව සඳහන්.
එමෙන්ම 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන්කරයි ඇත්තේ.
කෙසේ වෙතත් 2026 වර්ෂය සඳහා වියදම් පියවාගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3,800ක් ලෙස දක්වා ඇති අතර එය නොඉක්ම විය යුතු බව ද විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වනවා.











