දේශීය

මාලදිවයිනේ රැකියා ගැන පවසමින් ලාංකිකයන් මුලා කරන වංචාවක් හෙළි වෙයි

මාලදිවයිනේ රැකියා අවස්ථා ඇති බවට ව්‍යාජ දැන්වීම් ප්‍රචාරය කර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුලා කරමින් සිදුකරන මූල්‍ය වංචාවක් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ සම්බන්ධව සිය කාර්යාංශය වෙත වාර්තා කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කර ඇත්තේ.

එහිදී කරුණු අනාවරණය වී තිබෙන්නේ Whatsapp, Facebook, Linkedin වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් මෙම ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මාලදිවයිනේ රැකියා අවස්ථා ඇති බවට දැන්වීම් පළ කර ඒ සඳහා මුදල් අයකර මාලදිවයිනට විවිධ ක්‍රම මගින් පුද්ගලයින් පිටත් කර ඇති බවටයි.

එලෙස මාලදිවයිනට පැමිණි පිරිස්වලට ජාවාරම්කරුවන් විසින් රුපියල් 60,000-80,000 අතර මාසික වැටුප් සහිත රැකියා ලබා දීමට හැකි බව පවසා අමතර රුපියල් 350,000 සිට රු.500,000 දක්වා ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් එම කාර්යාංශය සඳහන් කරනවා.

මාලදිවයිනේ හෝ වෙනත් ස්ථානයක වෙසෙන ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් පිරිසක් සංවිධානාත්මකව මෙලෙස සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුකරන මෙවැනි ප්‍රචාරයන්ට හසු නොවන ලෙසයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිකයින්ගෙන් ඉල්ලීම් කරන්නේ.

එමෙන්ම කාර්යාංශයේ බලපත්‍රලාබී රැකියා නියෝජිතායතන මගින් පමණක් රැකියා අවස්ථා සඳහා යොමුවීම වැදගත් බවත්, ස්වයං රැකියා මාර්ගයෙන් රැකියා සඳහා යොමු වන්නේ නම් ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරන ලෙසත් එමකාර්යාංශය සියලු පාර්ශ්වයන්ට වැඩිදුරටත් දැනුම් දෙනවා.

Shares: