දේශීය

ජනතාවට උපරිම සහන සලසන අතරතුර ආගමික ස්ථාන පිළිසකර කරන්න – නාමල්

පසුගියදා හටගත් ගංවතුරෙන් සහ නායයාමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන අතර මේ නිසා විනාශයට පත් වූ විහාරස්ථාන, පල්ලි කෝවිල්, ඇතුළු සියලු පූජ්‍යස්ථාන පිළිසකර කිරීමට නිසි ප්‍රමුඛතාව ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

මන්ත්‍රීවරයා පැවසුවේ තමන් වෙත ලැබී ඇති තොරතුරු අනුව මධ්‍යම, ඌව, වයඹ ,සබරගමුව, සහ බස්නාහිර , දකුණ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල විහාරස්ථාන රාශියක් විනාශයට පත්ව තිබෙන බවත්, එසේම කතෝලික පල්ලි, හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි ඇතුළු ආගමික ස්ථාන සිය ගණනකට ගංවතුරින් හානිදුවී තිබෙන බවයි.

මේ පිළිබඳව රජයේ විධිමත් සමීක්ෂණයක් සිදුකර කඩිනමින් අවශ්‍ය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බවයි නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

හෙතෙම කියා සිටියේ මෙම ස්වභාවික අපදාවේදී බොහෝ ජනයා එක් රැස් වූයේත් පන්සල් පල්ලි කෝවිල් ආදි ආගමික ස්ථානනවලට බවත්, එම මධ්‍යස්ථානවලින් දුකට පත් ජනතාවට අසීමිත සේවයක් සිදුවූ බවත්, එබැවින් රජය වහා නිසි ප්‍රමුඛත්වයක් දී අදාළ ආගමික ස්ථාන යථා තත්වයට පත් කිරීමට පියවර ගැනිිම සිදු කළ යුතු බවයි.

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන්ටද මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවයි
මේ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ඔවුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන් හා සම්බන්ධව ව්‍යසනයට පත්ව ඇති සියලු පූජ්‍යස්ථාන ප්‍රතිසංස්කරණයකරණය සඳහා උදව්වන මෙන් මේ වන විටත් දැනුම් දී ඇති වගද ඔහු පැවසුවා.

Shares: